2023 පළමු භාගයේ අස්ථාවරත්වය හමුවේ කොමර්ෂල් බැංකු සමූහය ස්ථාවරව ඉදිරියට

බැංකු ක්ෂේත්‍රයට සැළකිය යුතු ලෙස අස්ථාවර කාලපරිච්ඡේදයක් වූ 2023 පළමු අර්ධය තුළ කොමර්ෂල් බැංකු සමූහය සිය දළ ආදායම 40.29% කින් රුපියල් බිලියන 167.668 දක්වා වර්ධනය කර ඇති අතර, එයට 71.15% කින් රුපියල් බිලියන 150.812 දක්වා වර්ධනය වූ පොලී ආදායම  ඇතුලත් විය.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත සමූහයෙහි ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 14.377 දක්වා 22.27%කින් ද, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 10.591 දක්වා 19.30% කින් ද, ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 17.086 දක්වා 236.42% කින් ද, වර්ධනය වී ඇත. 2022 පළමු භාගයේ සමූහයේ ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 12.524 ක අලාභයක් විය. 

කෙසේ වෙතත්, මාස හය සඳහා පොලී වියදම් රුපියල් බිලියන 65.958 කින් නැතහොත් 139.14% කින් රුපියල් බිලියන 113.362 දක්වා ඉහළ යාමත් සමඟ සමූහයේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 37.450 දක්වා 8.01%කින් අඩු විය.  

සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 50.520 ක් දක්වා 27.03% කින් පහළ ගොස් ඇති නමුත් සමාලෝචිත කාලසීමාව සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම 9.69% කින් රුපියල් බිලියන 37.309 ක් දක්වා වර්ධනය වී ඇත. ඒ සමූහ ව්‍යාපාරය විසින් මාස හයක කාලය සඳහා හානිපූර්ණ ගාස්තු සහ අනෙකුත් අලාභ සඳහා රුපියල් බිලියන 13.211 ක ප්‍රතිපාදනයක් සිදු කිරීමත් සමඟිනි. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම පහත හෙලීම හේතුවෙන් විදේශ මුදලින් වන රජයේ සුරැකුම්පත් සඳහා වූ සැලකිය යුතු අමතර ප්‍රතිපාදන, 2022 සඳහා වූ හානිපූර්ණ ගාස්තුවලට ඇතුළත් විය. මේ අතර සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 21.285 ක් දක්වා 18.04% කින් වැඩි විය.

 රුපියලේ අගය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ විනිමය වටිනාකම් සහිත ණය සහ අත්තිකාරම් මත ඇති වූ ප්‍රත්‍යාවර්ත බලපෑම හේතුවෙන් සමූහයේ දළ ණය සහ අත්තිකාරම් ද මාස හයක් තුළදී රුපියල් ටි‍්‍රලියන 1.188 ක් දක්වා 4.71% කින් අඩු වී ඇත. රුපියලේ අගය මගින් නියම කරන ලද තැන්පතු 2022 අග සිට රුපියල් බිලියන 48.47 කින් ඉහළ යාම හේතුවෙන් සමූහයේ මුළු තැන්පතු 2023 ජුනි 30 වන විට රුපියල් ටි‍්‍රලියන 1.959 ක් වූ නමුත්, රුපියලේ අගය ඉහළ යාම නිසා විදේශ මුදලින් ලද තැන්පතුවල වටිනාකම සැලකිය යුතු ලෙස අඩු විය.

මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කළේය, ‘බැංකුවල ප්‍රධාන කාර්යසාධන දර්ශක මූලික බැංකු මෙහෙයුම්වලට වඩා බාහිර විචල්‍යයන් මගින් දිගින් දිගටම බලපෑමට ලක් වේ. රුපියලේ අගයේ ඇතිවන තියුණු උච්චාවචනයන් හා වෙනස්වන පොලී අනුපාත හේතුවෙන් වත්කම් සහ වගකීම් වල වටිනාකම් නැවත තක්සේරු කිරීමේ අවශ්‍යතාව වැනි සාදක ඉපැයීම් සහ ලාභ කෙරෙහි විකෘති බලපෑමක් ඇති කරයි. කෙසේ වෙතත් අපි මෙහෙයුම් අනුව මූලික වශයෙන් ශක්තිමත්ව සිටින අතර ඉදිරි වසර තුළ මෙම ශක්තීන් උපයෝගී කර ගැනීමට සූදානම් ව සිටිමු.’

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අවධාරණය කළේ, ‘ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා ඉදිරි වසර තුළ පොළී අනුපාත තවදුරටත් අඩු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. අපගේ ඉහළ ද්‍රවශීලතා තත්වය වසරේ තුන්වන සහ සිව්වන කාර්තුවල දී ධනාත්මක වර්ධනයක් ජනනය කරමින් වත්කම් සහ වගකීම් වටිනාකම නැවත ඇගයීමත් සමඟ ණය දීම වැඩි කිරීමට උත්තෝලනය වනු ඇත. මෙය වෙළඳපොළ තුළ බැංකුවේ උසස් තත්වය තව දුරටත් ශක්තිමත් කරනු ඇත.’

 සමූහ ව්‍යාපාරය මාස හයක කාලය තුළ මූල්‍ය සේවා මත බදුගෙවීමට පෙර රුපියල් බිලියන 16.024 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇති අතර එය 0.26% ක ආන්තික වර්ධනයකි. මූල්‍ය සේවා මත බදු රුපියල් බිලියන 1.934 ක් දක්වා 25.70% කින් අඩු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආදායම් බද්දට පෙර ලාභය රුපියල් බිලියන 14.092 දක්වා 5.36% කින් වැඩි විය.

සමූහයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා ආදායම් බදු අනුපාතය 24% සිට 30% දක්වා වැඩි වීමත් සමඟ සලකා බලන කාලය තුළ ආදායම් බදු වියදම් රුපියල් බිලියන 5.802 ක් දක්වා 38.21% කින් ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් සමූහයේ ශුද්ධ ලාභය වූ රුපියල් බිලියන 8.290 9.67% ක පහත වැටීමක් පෙන්නුම් කළේය. සමූහය විසින් තම පසුගිය වසරේ දෙවන කාර්තුවේ තිබූ රුපියල් බිලියන 2.597 ක අලාභය 2023 දෙවන කාර්තුව වන විට රුපියල් බිලියන 3.931 ක ශුද්ධ ලාභයක් බවට කැපී පෙනෙන ලෙස පරිවර්තනය කර ඇත.

Views: 71