ආසියාවේ විශිෂ්ටතම රක්ෂණ නියෝජිතවරයා ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ සජීව පුෂ්පිත සම්මානයට

ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි කලාපීය සේවා සමූහ කළමණාකරු (Regional Portfolio Manager) සජීව පුෂ්පිත මහතා 8 වැනි Asia Trusted Life Agents & Advisers සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රක්ෂණ නියෝජිතයා යන සම්මානයෙන් පිදුම් ලබා ඇත.

අඛණ්ඩව වසර තුනක් මෙම සම්මාන කාණ්ඩයේ අවසන් තරඟකරුවන් 5 දෙනා අතරට පත්වීමෙන් පසුව, ආසියාවේ දක්ෂතම රක්ෂණ නියෝජිතවරුන් අභිබවා මෙවර මෙම සම්මානය දිනාගැනීමට පුෂ්පිත මහතා සමත්විය. ඔහුගේ සුවිශේෂී කැපවීම සහ කාර්යසාධනය නිසාම මෙම සම්මානය හිමි කරගැනීමට හැකිවූ අතර, අවසන් තරගකරුවන් අතරින් ශ‍්‍රී ලාංකීය සමාගමක් නියෝජනය කළ එකම නියෝජිතයා වශයෙන්, ශ‍්‍රී ලංකාවට සහ සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට ඉමහත් කීර්තියක් ගෙන ඒමට සජීව පුෂ්පිත සමත් විය.

සිංගප්පූරුවේ Park Royal Collection Marina Bay හිදී පවත්වන ලද Asia Trusted Life Agents & Advisors සම්මාන උළෙල, ස්වාධීන විනිශ්චය කිරීමේ ක‍්‍රියාවලියක් මගින් ආසියාවේ හොඳම මූල්‍ය උපදේශන වෘත්තිකයින්ව සම්මානයට පාත‍්‍ර කරන, කලාපයේ වඩාත්ම ගෞරවනීය සහ විශ්වාසනීයම සම්මාන උළෙලක්  ලෙස ප‍්‍රචලිතව ඇත. Asia Insurance Review, Asia Advisors Network සහ LIMRA විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම වසරේ තරඟය සඳහා ආසියාව පුරා වෙළදපොල 14කින් සහ විවිධ සමාගම් 38කින් අවසන් තරඟකරුවන් 77ක් සහභාගී විය.

8 වැනි Asia Trusted Life Agents & Advisers සම්මාන උළෙලේදී පුෂ්පිත මහතා ලැබූ ජයග‍්‍රහණය, වෘත්තීයභාවයේ ඉහළම ප‍්‍රමිතීන් කරා ළඟා වීමේ දැඩි අධිෂ්ඨානය සමඟින් තම ගනුදෙනුකරුවන්ට සුවිශේෂී සේවාවක් ලබාදීමට ඔහු දක්වන නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. ක්ෂේත‍්‍රයේ වසර 19කට වැඩි පළපුරුද්දක් ඇති ඔහු ‘‘වසරේ රක්ෂණ නියෝජිතයා” කාණ්ඩය සඳහා නිර්දේශ වූ එකම ශ‍්‍රී ලාංකිකයා ලෙසත්, අඛණ්ඩව වසර හයක්,  MDRT TOT (Top of The Table)  සුදුසුකම ලබා ගත් එකම අවසන් තරඟකරුවා ලෙසත් කැපී පෙනේ.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා පුෂ්පිත මහතාගේ විශිෂ්ට ජයග‍්‍රහණය පිළිබඳව සිය ආඩම්බරය ප‍්‍රකාශ කළේ, ”ගෞරවනීය Asia Trusted Life Agents & Advisors සම්මාන උළෙලේදී සජීවගේ ජයග‍්‍රහණය සහ පිළිගැනීම අපට ඉමහත් ප‍්‍රීතියක් ගෙන දෙනවා. සමාගමක් ලෙස Softlogic Life, දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයා වීමේ අරමුණින් කටයුතු කරන අතර, සජීවගේ ජයග‍්‍රහණය අපව ආසියාවේ ප‍්‍රබලතම රක්ෂණ සමාගම් අතරට ගෙන ගොස් තිබෙනවා. එබැවින් මෙම සම්මානය සජීවගේ කැපවීම, නොපසුබට උත්සාහය සහ ධෛර්යය සඳහා වූ ඉතා වැදගත් ඇගයීමකි. ඔහුගේ නොසැලෙන කැපවීම සැබවින්ම ආදර්ශමත් වන අතර, ඔහු නුදුරේදීම ශ‍්‍රී ලංකාවට තවත් කීර්තියක් ගෙන එනු දැකීමට අපි බලාපොරොත්තු වෙනවා.”

Visits: 32