ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සිය 44වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එහි 44 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය එහි සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 2 වැනි දින කොළඹ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වා තිබේ.

අපනයන සංවර්ධනය හා ප්‍ර‍වර්ධනය සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සුවිසල් කාර්යභාර්යයක් සිදුකර ඇති බවත් අද වනවිට එය පුළුල් වී ඇති බවත් ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා උත්සවයට එක්වෙමින් පවා ඇත.

එසේම ඉදිරි අභියෝග හදුනාගනිමින් ඒ සඳහා ශක්තිමත්ව මුහුණ දියයුතු බවද සභාපතිවරයා කාර්යමණ්ඩලය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

පසුගිය දශක හතර තුළ, ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන, වෙළඳ නියෝජිත සාකච්ඡා, මූල්‍ය සහන යෝජනා ක්‍රම, ව්‍යාපාරික බුද්ධිය ලබා දීම යනාදිය හරහා අපනයනකරුවන් දහස් ගණනකට ජාත්‍යන්තර වෙළඳපොලේ තම පැවැත්ම තහවුරු කර ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය සහාය ලබා දී ඇත. සුළු පරිමාණ ව්‍යවසායකයන් ලෙස එදා අපනයන සංවර්ධන මන්ඩලය සමඟ කටයුතු කළ බොහෝ ව්‍යවසායකයන් අද අපනයන ක්ෂේත්‍රයේ දැවැන්තයන් ලෙස ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙයි.

උත්සවය අමතමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ මහත්මිය විසින් 1979 වර්ෂයේද සිට අපනයන ප්‍රවර්ධන නියෝජිතායතනය පිහිටුවීමේ සිට සිදු කරන ලද සේවාව විස්තර කළ අතර EXPO 92 සහ EXPO 94 පැවැත්වීම වැනි සුවිශේෂී ජයග්‍රහණ ඉස්මතු කර ඇත.

ලංකා කුරුඳු සඳහා GI සහතිකය ලබා ගැනීම, ජාතික කාබනික පාලන ඒකකය පිහිටුවීම, මෙන්ම  අපනයන සන්නාමකරණ  සදහා මුලපිරීම් පිළිබදව ඇය වැඩිදුරටත් සදහන් කර තිබේ.

සමරු උත්සවය අතරතුර අපනයන සංවර්ධන මණ්ඩලයේ නිර්මාතෘ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා අනුස්මරණය කළ අතර ආයතනයේ ජ්‍යෙෂ්ඨතම සේවකයින් ඇගයීමද සිදුව ඇත.

ප්‍රාදේශීය කාර්යාලවල සේවකයින් ඇතුළු සමස්ත අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ද අන්තර්ජාලය හරහා මෙම අවස්ථාවට සහභාගී වූ බවත් පැවසෙයි.

Visits: 24