ලංකාවේ වටිනාම සහ ශක්තිමත්ම සන්නාමය ඩයලොග් – වටිනාම සන්නාම 10න් 06ක්ම බැංකු

2023 වසරේදී මෙරට වඩාත් වටිනාම සහ ශක්තිමත්ම සන්නාමය බවට ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම තේරීපත්ව ඇතැයි වාර්තාවෙයි.

ජාත්‍යන්තර සන්නාම වර්ගීකරණ ආයතනයක් වන Brand Finance මගින් 2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම සහ ශක්තිමත්ම සන්නාම සම්බන්ධයෙන් නිකුත් කළ  ශ්‍රී ලංකා 100 2023 වාර්ෂික වාර්තාවට අනුව මෙම තේරීපත්වීම සිදුව තිබේ.

මෙහිදී ඩයලොග් සමාගම ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම සන්නාමය බවට පත්ව ඇත්තේ පිට පිට 5 වැනි අවස්ථාවට විමද විශේෂත්වයකි. මෙම නව තම Brand Finance වාර්තාවට අනුව රුපියල් බිලියන 52.0 ක වටිනාකමක් සමගින් ඩයලොග් සමාගම මෙරට වඩාත් වටිනාම සමාගම බවට පත්ව තිබේ.

මේ අතර 2023 වසරේදී මෙරට වටිනාම සන්නාම 10 අතරින් 06ක්ම බැංකු වීමද විශේෂත්වයකි.

ඒ අනුව රුපියල් බිලියන 50.2ක වටිනාකමක් සමගින් ලංකා බැංකුව මේ වසරේදීත් එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ. කොමර්ෂල් බැංකුවද රුපියල් බිලියන 43.6ක වටිනාකමක් සමගින් තෙවැනි ස්ථානයේ පසුවෙයි. සිව්වැනි ස්ථානයට පත්ව ඇත්තේ රුපියල් බිලියන 38.9ක වටිනාකමක් සහිත මහජන බැංකුවයි.

මේ අතර පසුගිය වසරේදී මෙරට වඩාත් වටිනාම සන්නාම ලැයිස්තුවේ අට වැනි ස්ථානයේ පසු වූ සම්පත් බැංකුව මෙවර එහි පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත්ව සිටියි. එහිදී එම බැංකු සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 25.7ක් ලෙස සටහන්ව ඇත. එසේම පසුගිය වසරේ නවවැනි ස්ථානයේ පසු වූ හැටන් නැෂනල් බැංකුව මෙවර රුපියල් බිලියන 25.0ක වටිනාකමක්ද සමගින් හයවැනි ස්ථානයට පත්ව ඇත.

කෙසේ වෙතත් පසුගිය වසරේ Brand Finance දර්ශකයට අනුව මෙරට පස්වැනියට වටිනාම සන්නාමය වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මෙවර රුපියල් බිලියන 23.0ක වටිනාකමක් සමගින් හත්වැනි ස්ථානයට පසුබැස ඇත. මෙවර වටිනාම සන්නාම ලැයිස්තුවේ අටවැනි ස්ථානය නෙස්ලේ සමාගමට හිමිව ඇත. ඔවුන් රුපියල් බිලියන 20.6ක වටිනාකමක්ද සමගින් පෙර වසරේ සිටි 11 වැනි ස්ථානයේ සිට ස්ථාන තුනක් ඉදිරියට එමින් අටවැනි ස්ථානයට පත්ව සිටියි.

මේ අතර මේ වසරේ මෙරට වඩාත් වටිනාම සන්නාම අතර නවවැනි ස්ථානය කාර්ගිල්ස් ෆුඩ්සිටි වෙත හිමිව තිබේ. එහිදී කාර්ගිල්ස් සන්නාමය පෙර වසරේ සිටි 10වැනි ස්ථානයේ සිට 09 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. එම සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 19කි. කෙසේ වෙතත් කීල්ස් සුපිරි වෙළෙඳ සැල් සන්නාමය මේ වසරේදී ස්ථාන හතරක් පසුබසිමින් 06 වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානයට පත්ව තිබේ. එම සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 17.7කි.

Visits: 163