ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණ සඳහා තිබූ සීමා ලිහිල්/ඉවත් කෙරේ

ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ සීමා ලිහිල් කිරීමක් සහ අත්හිටුවීම් ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ මෙම නව නියමයන් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළෙහි වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන් සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර ගනුදෙනු වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ 2020 අප්‍රේල් 02 වැනි දින සිට වරින් වර ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණයකිරීම් තාවකාලිකව සීමා කිරීම්/අත්හිටුවීම් සඳහා නියමයන් නිකුත් කෙරිණි.

ඒ අනුව මෙලෙස බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් ලිහිල් කරමින් ක්‍රියාත්මක මෙම නව නියමයන් 2023 ජූනි 28 දින සිට මාස හයක කාලයක් සඳහා වලංගු වන බවත් මහ බැංකුව පවසයි.

Views: 88