කොමර්ෂල් බැංකුව තිරසර වාර්තාකරණය සඳහා බැංකු අංශයේ ACCA සම්මානය යළිත් දිනාගනී

ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය කළ 2022 ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව යළිත් වතාවක් සමස්ත බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙසින් සම්මානයට පාත‍්‍රවී තිබේ.

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත් විනිවිද භාවයකින්, වගවීමකින් සහ වගකීමකින් යුතු ආයතන අතුරින් එකක් වන බව යළිත් වතාවක් මෙම සම්මානය මගින්  සනාථ කර ඇත. කොමර්ෂල් බැංකුවේ ආයතනික න්‍යාය පත‍්‍රයේ ප‍්‍රධාන කොටසක් ලෙස පවතින සමාජ සහ පාරිසරික තිරසර වටිනාකම් විදහා දැක්වීමට බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව මගින් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබෙන අතර මෙම සම්මානය දිනාගැනීමට එය ප‍්‍රධානතම හේතුවක් වී තිබේ.

මේ අතර, මෙම බැංකු වාර්තාව ජාත්‍යන්තර <IR> රාමුවට අනුකූල වන අයුරින් සකස් කර තිබෙන අතර මෙමගින් ගෝලීය වාර්තාකරණ වැඩසටහනේ (GRI) ප‍්‍රමිතීන් වලට අනුව බැංකුවේ සමාජ සහ පාරිසරික බලපෑම දක්වා ඇත. මීට අමතරව, මෙම වාර්තාව මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ තිරසාර සංවර්ධන ඉලක්ක වලට අනුව බැංකුවේ දායකත්වයද සඳහන් කර තිබේ. 

කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ පුළුල් වාර්තාකරණය සම්බන්ධයෙන් වන බැංකුවේ ඉහළ ප‍්‍රමිතිය තුළින් වගකීම් සහගත මූල්‍ය ආයතනයක් බවට පත්වීමටත් තිරසර ව්‍යාපාරික භාවිතයන් ක‍්‍රියාත්මක කිරීමටත් බැංකුවට හැකිවී තිබෙන බවයි. කොමර්ෂල් බැංකුව පසුගිය වසරේද මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාවට හිමි සම්මානය දිනාගත් අතරම 2020 වසර සඳහා හොඳම තිරසර වාර්තාකරණයට හිමිවන සමස්ත ජයග‍්‍රහණයද දිනාගන්නා ලදී. 

Visits: 52