ඉන්ධන මිල ඉහළට – මිල සූත්‍රය අනුව දෙසතියකට හෝ මාසිකව ඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිල ගණන් අද අලුයම 3.00 සිට ඉහළ නංවා ඇතැයි ඉන්ධන සහ බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඊයේ රැස්වුණු කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වුණු ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මිල සංශෝධනය සිදු කර තිබේ.

ඒ අනුව පෙට්‍රෝල් 92 ලීටරයක මිල රුපියල් 338 සිට 420දක්වා රුපියල් 82කින්ද, පෙට්‍රෝල් 95 රුපියල් 373 සිට රුපියල් 450ක් දක්වා රුපියල් 77කින්ද ඉහළ නංවා තිබේ.

එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 289 සිහ 400ක් දක්වා රුපියල් 111කින්ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 329 සිට රුපියල් 445ක්දක්වා රුපියල් 116කින්ද ඉහළ නංවා තිබේ.

ඒ අනුව සිපෙට්කෝ සහ ලංකාඅයිඕසී සමාගම් අද දිනයේ සිට මෙම නව ඉන්ධන මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට නියමිතව තිබේ.

මෙහිදී ඊයේ සන්ධ්‍යාවේදී රැස්වුණු කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් ඉන්ධන මිල සූත්‍රය අනුව මෙලෙස මිල සංශෝධනය සිදු කරන බවත්, එහිදී මිල සංශෝධනය සඳහා ඉන්ධන ආනයනය, ගොඩබෑම, බෙදාහැරීම සඳහා වන වියදම් සහ බදු ඇතුළත්වන බවත්, ලාභ ඉපැයීම් ඊට ගණනය කිරීම සහ ඇතුළත් කිරීම සිදු කර නොමැති බවත් ඉන්ධන හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙහිදී සඳහන්කර තිබේ.

එසේම ප්‍රවාහන සහ අනෙකුත් ගාස්තු මිල ගණන් සංශෝධනය සඳහාද කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ. මේ අතර මෙම ඉන්ධන මිල සංශෝධනය සති දෙකකට වරක් සහ මාසිකව සිදු වනු ඇති බවත් ඉන්ධන සහ බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Views: 86