2022 පළමු කාර්තුවේදී SLT සමූහයට රු.බි. 26ක පිරිවැටුමක් – SLT PLC රු.බි. 4.1 ක බදු-පසු ලාභයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සිය පිරිවැටුම රු. බිලියන 26 දක්වා වර්ධනය කරගැනීමට සමත් වී තිබේ. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.4% ක වර්ධනයකි.

සමාලෝචිත කාලසීමාව තුළ සමූහයේ බදු-පසු ලාභය රු. බිලියන 2.7 ක් ලෙස වාර්තා වීම, අභියෝගකාරී ආර්ථික තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සමූහය සතු ශක්‍යතාව මනාව පිළිබිඹු කරයි.

නව වසර ආරම්භයේ සිටම සමූහය සිය ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළ, පිරිවැය පදනම විධිමත් කිරීම සහ ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය කිරීම යනාදිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින්, සිය පාර්ශ්වකරුවන්ටත් රටටත් උපරිම ප්‍රතිලාභ පිරිනැමීමට පියවර ගෙන ඇත.

මෙම කාලසීමාව තුළ සමූහයේ පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) පෙර වසරට සාපේක්ෂව 9.9% කින් වර්ධනය වෙමින් රු. බිලියන 10.7 ක් බවට වාර්තා වී ඇති අතර, පෙර වසරේ අදාළ කාලසීමාව තුළ 39.4% ක් ලෙස වාර්තා වූ EBITDA ආන්තිකය මෙවර 41% දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම මෙම කාර්තුව තුළ සමූහය රු. බිලියන 3.5 ක බදු-පෙර ලාභයක් වාර්තා කර ඇත.

සමූහයේ පිරිවැටුම වර්ධනය වීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ, ජාතික ෆයිබර්කරණ වැඩසටහන යටතේ ෆයිබර් සම්බන්ධතා ව්‍යප්තිකරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සහ 4G/LTE ජාලය වැඩිදියුණු කිරීම හා ව්‍යාප්ත කිරීම ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් ආදායම ඉහළ යාමයි.
ෆයිබර් සම්බන්ධතා ලබාදීම වේගවත් කිරීම මෙන්ම එහි අලෙවිකරණ කටයුතු පුළුල් කිරීම ඔස්සේ පාරිභෝගික ඉල්ලුම ඉහළ යාම, මෙම මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුවට අදාළ මූල්‍ය ඉලක්ක ළඟා කරගැනීමට මහෝපකාරී විය.

එම නිසා ඉහත ව්‍යාපෘති සඳහා සිදුකරන ලද ආයෝජන බෙහෙවින් ඵලදායී වූ බව පැවසිය හැකි වේ. එමෙන්ම ෆයිබර් සම්බන්ධතා පුළුල් කිරීම නිසා PEOTV ආදායමද ඉහළ ගිය අතර, මෙම කාලසීමාව තුළ දේශීය වාහක සේවා (Career Domestic Services) තුළින් ලැබූ ආදායම ද ඉහළ ගොස් ඇත.

“අප බලාපොරොත්තු වූවාට වඩා 2022 මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුව අභියෝගකාරී එකක් වුණා. එහෙත් සමස්තයක් ලෙස SLT-MOBITEL පෙන්නුම් කර ඇති ක්‍රියාකාරීත්වය මගින් පෙනී යන්නේ, අපට එම අභියෝග වලට මුහුණ දීමට ශක්තිය තිබෙන බවයි. ඉදිරියටත් අපගේ පාර්ශ්වකරුවන්ට උපරිම වටිනාකම් ලබාදෙමින්, රටේ ඩිජිටල් පරතරය පියවීමට දායක වෙමින්, රටටත් ජනතාවටත් ඉහළම සේවාවක් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. විචක්ෂණශීලී මූල්‍ය විනයක් පවත්වා ගැනීම, අපගේ සාර්ථකත්වයට බලපෑ තවත් එක් ප්‍රධානතම හේතුවක් වුණා” යැයි SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

සමූහයේ මෙහෙයුම් මුදල් ප්‍රවාහය පෙර වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 35.3% කින්, එනම් රු. බිලියන 16.3 දක්වා වර්ධනය වී තිබේ. රු. බිලියන 31.6 ක වාසිදායක මුදල් හා මුදල් සමාන වත්කම් තත්ත්වයක් කාර්තුව අවසානයේ සමූහය වාර්තාකර ඇත. එමෙන්ම ප්‍රථම කාර්තුව තුළ ශ්‍රී ලංකා රජයට රු. බිලියන 4.2 ක සෘජු හා වක්‍ර බදු දායකත්වයක් සමූහය ලබා දී ඇත.

“ජාල හා ඩිජිටල් හැකියාවන් ඇතුළුව නවීනතම තාක්ෂණය සඳහා ආයෝජන සිදුකිරීමට අප දිගින් දිගටම කටයුතු කරනවා. එමෙන්ම සමාගමේ පරිවර්තනයක් සිදුකළ හැකි ආකාරයේ නිර්මාණශීලී නිෂ්පාදන හා සේවා අඛණ්ඩව හඳුන්වා දීමටත් අප සූදානම්. යටිතල පහසුකම් සඳහා දැනටමත් සැලකිය යුතු මට්ටමේ ආයෝජන සිදුකර තිබෙන නිසා, නිරතුරුව නවෝත්පාදන සිදුකරමින් පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා” යනුවෙන් SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා පැවසී ය.

සමූහයේ පරිපාලිත සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (SLT PLC) 2022 ප්‍රථම කාර්තුව තුළ රු. බිලියන 4.1 ක බදු-පසු ලාභයක් වාර්තා කර ඇත. කාර්තුව සඳහා පිරිවැටුම රු. බිලියන 15.9ක් වන අතර, පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) සහ මෙහෙයුම් ලාභය පිළිවෙළින් රු. බිලියන 6.3 ක් සහ රු. බිලියන 1.1 ක් ලෙස වාර්තා වේ.

“බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන්ට අනුගතවීම, ෆයිබර්කරණය සහ දත්ත සම්ප්‍රේෂණ පරාස පුළුල් කිරීම වැනි සාධක නිසා අපගේ සේවාවන්ට ඇති ඉල්ලුම ඉහළ යමින් තිබෙනවා. අප බලාපොරොත්තු වන ආකාරයට ව්‍යාපාර කටයුතු සහ ලාභදායීතාවය වර්ධනය කරගැනීමට හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙන්නේ ඒ නිසයි. මගේ කණ්ඩායම සමාගමේ වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර තිබෙනවා. යටිතල පහසුකම් නවීකරණය කරමින් මූලික බ්‍රෝඩ්බෑන්ඩ් සහ ස්ථාවර මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම අපගේ ඉලක්කයයි. 2022 වසර පුරාම මේ යහපත් ප්‍රවණතාව පවත්වා ගැනීමට අපට හැකියාව ලැබේවි” යැයි SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා පැවසී ය.

Visits: 61