අප්‍රේල් මාසයේදී උද්ධමනය 33.8%ක් දක්වා ඉහළට

මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය 33.8%ක අගයකට පත් වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය මාර්තු මාසයේදී වාර්තා වූ 21.5%ක උද්ධමනය හා සැසඳීමේදී කැපී පෙනෙන ඉහළ යාමකි.

මෙහිදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම් මෙලෙස උද්ධමනය ඉහළ යෑමට හේතු වී තිබේ.

ඒ අතරින් ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මාර්තු මාසයේදී පැවැති 29.5%ක සිට අප්‍රේල් මාසයේදී 45.1%ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය මාර්තු මාසයේදී 14.5%ක් වූ අතර එය අප්‍රේල් මාසයේදී 23.9%ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර කාණ්ඩය තුළ සහල්, කිරිපිටි, පරිප්පු, සීනි සහ පාන් මිල ගණන් ඉහළ යාම සිදුව තිබේ. ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රවාහන (පෙට්‍රල්, බස් ගාස්තු සහ ඩීසල්), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන, සෞඛ්‍ය (පෞද්ගලික වෛද්‍ය ගාස්තු), අධ්‍යාපන (උපකාරක පන්ති ගාස්තු), සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයෙහි අයිතමවල ප්‍රධාන වශයෙන් මිල ගණන් ඉහළ ගොස් තිබේ.

මෙහිදී අප්‍රේල් මාසයේදී ප්‍රවාහන අංශයේ උද්ධමනය 52.5%ක අගයක් ගෙන තිබේ. එය මාර්තු මාසයේදී 29.1%ක් විය. අධ්‍යාපන අංශයේ උද්ධමනය 22.3%ක් වූ අතර, එය මාර්තුවේදී 4.5%ක් වී තිබේ. ආපනශාලා සහ හෝටල් උද්ධමනය 50.0%ක්වී ඇති අතර, එය මාර්තු මාසයේදී 36.9%ක අගයක් ගෙන ඇත.

Visits: 46