“මම අගමැති වුණු හැම කාලෙකදීම මිනිස්සු තුන්වේල කෑවා” – අගමැති රනිල් බීබීසීයට කියයි

තමා අගමැතිවරයා ලෙස කටයුතු කළ සෑම කාලයකදීම රටෙහි ජනතාවට තුන්වේල කෑමට ලැබුණු බවත්, රැකියා ලැබුණු බවත් ජනතාවට වඩාත් හොඳ ජීවිතයක් ගත කිරිමට ලැබුණු බවත් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හය වැනි වරටත් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස තේරීපත්වීමෙන් අනතුරුව මාධ්‍යයක් වෙත ලබා දුන් පළමු සම්මුඛ සාකච්ඡාව ලෙස බී.බී.සී. සිංහල සේවය වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් අගමැතිවරයා මේ බව පවසා සිටියි.

“1977 අපි පෝලිම් යුගය ඉවර කළා – විවෘත ආර්ථිකයක් ඇති කළා. 2001 අපිට විදුලිබලය නැතිව අඳුරු යුගයක් තිබුණා, ආර්ථිකය කඩා වැටුණා, එයත් අපි ඉදිරියට ගෙන ගියා, 2015දී අපට සිදුවුණා මේ රට විශාල ආර්ථික අහේනියකට පත්වීම වළක්වන්න – එයත් සාර්ථකව සිදුකළා, පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ආර්ථිකය නඟා සිටෙව්වා. හැම වේලාවේම මම අගමැතිවරයා වුණු කාලවලදී ජනතාවට තුන් වේල කන්න දුන්නා. හොඳට ජීවත් වෙන්න දුන්නා, රැකියා දුන්නා. මේ අවස්ථාවේදීත් අභියෝගය භාරගනිමින් ජනතාවට හොඳ ජීවිතයක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.” අගමැතිවරයා සඳහන් කළේය.

මෙහිදී එම තත්ත්වය ඇති කිරිම සඳහා අවශ්‍ය සැලසුම් කිහිපයක් සකස් කර ඇති බවත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා මෙහිදී පවසා සිටියේය.

“මේ අවුරුද්ද තමයි අපිට අමාරුම. විදේශ විනිමය නැහැ. අනෙක් අතට ආණ්ඩුවට ආදායම නෑ. මොකද විදේශ විනිමය එක්ක අපේ ව්‍යාපාර කරගෙන යන්න බෑ. බදු අඩුකරලා තියෙනවා. රැකියා නැතිවෙනවා. විදේශ විනිමය නිසා රුපියලේ ආදායමුත් නෑ. අපි දැන් කොහොමද රුපියලේ ආදායම වැඩි කරගන්නේ. බදුවලින් එය සිදු කරන්නේ කොහොමද කියන දේ හිටපු මුදල් ඇමති අලිසබ්‍රි මැතිතුමා අපිට කිව්වා. දෙවනුව තියෙන්නේ විදේශ විනිමය ලබා ගන්න එක. මේ කාලේ අපිට එය ලංකාවට ලබා ගන්න බෑ. දැනට කියන්නේ ඩොලර් බිලියන 3ක් ඕනේ කියලයි.”

මේ හරහා පෝලිම් යුගය නැති කළ යුතුව ඇති බවත්, ජනතාවට හොඳින් ජීවත්වීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, මැද පන්තියේ ආර්ථිකය දියුණු කළ යුතුව ඇති බවත්, වැඩකරන ජනතාවට මීට වඩා හොඳ ආර්ථිකයක් ලබා දිය යුතුව ඇති බවත් අගමැතිවරයා මෙහිදී පවසා සිටියේය.

“අපි මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කතා කරන්න ඕනේ. අපි නියම වශයෙන් ක්‍රියා කරනවා දැනගත්තොත් අනෙක් රටවල් අපිට උදව් කරයි. ලෝකයම කියන කොට 2020-21 IMF ණය ලබා ගන්න කියලා අපි එය කළේ නෑ. මොකක්ද අපි කළේ, තිබුණු සංචිත ඔක්කොම යොදාගෙන ඉන්ධනවලට ගෙව්වා. සංචිතය නැතිවුණාම රට වැටිලා තියෙන්නේ. ඒ කට්ටිය ඒවෙලාවේ බොරු කිවාව්.”

මේ අතර අද වනවිට රටට රුපියලේ ආදායම නොමැති බවත්, මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන තුනක මුදල් මුද්‍රණය කිරීමක් සිදු ව ඇතැයිද අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

“දැන් මේ ට්‍රිලියන 3ත් අවසානයි. ආණ්ඩුව සතුව තියෙන්නේ බිලියන 100ක මුදලක්. මෙය රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නවත් ප්‍රමාණවත් නැ. දැන් ආපසු පාර්ලිමේන්තුවෙන් මුදල් මුද්‍රණය කරන්න කියන්න වෙනවා. හැබැයි මගේ ක්‍රමය මුදල් මුද්‍රණය කිරීම නෙමෙයි. මම නොකෙරුවත් රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න ඒක කරන්න වෙනවා.”

මෙහිදී රට නැවතත් ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමේදී නැවතත් පාර්ලිමේන්තුවට බලය හිමිවන ආකාරයේ ක්‍රමයක් ඇති කළ යුතු බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය. එසේම කැබිනට් මණ්ඩලයට අමතරව කමිටු ක්‍රමයක් ඇති කිරීමත්, මූල්‍ය පාලනය අතට ගැනීමත් සිදු කළ යුතු බව අගමැතිවරයා පවසයි.

“මට අවශ්‍ය මේ තරුණ හඬට කන්දෙන්න. අපි දැන් අලුත් තත්ත්වය දිහා බලලා සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව කටයුතු කරන්න වෙනවා.” අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Visits: 86