LOLC රාජගිරියේ ඉඩම අවුරුදු 99කට බද්දට ගත්තේ රුපියල් බිලියන 13ක ආයෝජනයකටලු

නාගරික සංවර්ධන අධිකාරියට අයත් රාජගිරිය කොටාපාරේ පිහිටි අක්කර 1යි රූඩ් 1යි පර්චස් 9.29ක ඉඩමක් බද්දට ගත්තේ එහි රුපියල් බිලියන 13ක් වටිනා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරිමට බව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

අද දිනයේදී මෙම ආයෝජනය පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් LOLC සමූහය මෙම කරුණු අනාවරණය කර තිබේ.

අදාළ ඉඩම LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමාගමක් වන LOLC Investment Holdings Two (පෞද්) සමාගම වෙත ලබා දීමේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවට ඊයේ අනාවරණය විය.

මෙම ඉඩම සඳහා සුදුසු ආයෝජකයෙකු ඉදිරිපත් වන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය කර තිබූ ආරාධනාවක් යටතේ සිදු කළ ලංසු කැඳවීමකදී LOLC සමූහය රුපියල් බිලියන 1.1කට මෙම ඉඩම 99 අවුරුද්දකට මෙලෙස බදු ගැනීම සිදු කර ඇත.

මෙලෙස රුපියල් බිලියන 13ක ආයෝජනයකින් සිදු කරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වසර දෙකහමාරක කාලයක් තුළදී සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් LOLC සමූහය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 341