2021 නොවැම්බරයේදී කාර්මික භාණ්ඩ අපනයනය ආදායම 56.6%කින් ඉහළට

2020 වසරේ නොවැම්බර් මාසයේදී කාර්මික අපනයනය හරහා ලැබුණු ආදායම වූ ඩොලර් මිලියන 597.4ට සාපේක්ෂව 2021 වසරේ නොවැම්බර් මාසයේදී එම අපනයනය ආදායම ඩොලර් මිලියන 935.4ක් වූ බව මහ බැංකුව පවසයි.

ඒ අනුව පෙර වසරට සාපේක්ෂව 2021 නොවැම්බර් මාසයේදී මෙරට කාර්මික භාණ්ඩ අපනයන ආදායම 56.6%කින් ඉහළ ගොස් තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ රේගු දත්ත උපුටා දක්වමින් 2021 නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සඳහන් කරමින් මහ බැංකුව මේ බව පවසයි.

එහි දීප්‍රධාන වශයෙන් ඇගලුම් (61.9%), ඛනිජ තෙල් නිෂ්පාදිත (177.7%), රබර් නිෂ්පාදිත (49%) සහ සත්ත්ව ආහාර (494.2%) ඇතුළු බොහෝ කාර්මික නිෂ්පාදන කාණ්ඩවල ඉපැයීම් සමස්තයක් ලසෙ ඉහළ යාම මෙම වැඩි වීමට හේතු වීතිබේ.

කෙසේ වෙතත් ප්ලාස්ටික් සහ ඒආශ්‍රිත නිෂ්පාදිත  (ප්‍රධාන වශයෙන් ප්ලාස්ටික් ඇදුම් උපාංග) කාණ්ඩයේ ඉපැයීම්වල පහළ යෑමක් (-61.1%) වාර්තා විය.

කෙසේ වෙතත් සියලුම ප්‍රධාන වෙළෙඳ පොළ වෙත සිදුකළ ඇගලුම් අපනයන වර්ධනය වීතිබේ. මේ අතර ඛනිජතෙල් නිෂ්පාදිත අපනයනවලින් ලැබෙන ඉපැයීම් ඉහළ යෑම සඳහා නැව් සහ ගුවන් යානා සඳහා යොදාගනු ලබන ඉන්ධනවල මිල ගණන් ඉහළ යෑම සහ නැව් සඳහා යොදා ගනු ලබන ඉන්ධනවල අපනයන පරිමා ඉහළ යෑම හේතු විය.

රබර් නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ යෑම සඳහා ටයර් සහ අත්වැසුම්වලින් ලද ආදායම ඉහළ යෑමට හේතුවක්වී තිබේ. මේ අතර ප්‍රධාන වශයෙන් තිරිගු අවශේෂ හේතුවෙන් සත්ත්ව ආහාර අපනයනයෙන් ලද ආදායම ඉහළ යාම සිදුවූබව මහ බැංකුව පවසයි.

Visits: 118