DFCC බැංකුව තරුණ පරපුර වෙනුවෙන් ගෙන ආ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන ඔන්ලයින් ක්‍රමයට

DFCC බැංකුව අඛණ්ඩව වසර 3 ක් තිස්සේ ක්‍රියාවට නංවන ‘සැමට ඉංග්‍රීසි’ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන මෙවර මාර්ගගත (Online) ක්‍රමයට පැවැත්වීමට සැලසුම් කර ඇතැයි පවසයි. මෙම වැඩසටහන DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායේ ප්‍රධාන අංශ 6 අතරින් ‘අධ්‍යාපනය’ අංශයට අයත් වන, දිවයින පුරා වෙසෙන තරුණ තරුණියන්ට ප්‍රතිලාභ සලසන වැඩසටහනකි.

අනුරාධපුර, වවුනියාව සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල තරුණ තරුණියන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මෙවර වැඩසටහන තුළදී, එම තරුණ තරුණියන්ගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇත. ඉංග්‍රීසි භාෂා හැකියාව යනු වර්තමානයේ වෘත්තීයමය වශයෙන් සාර්ථක වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකේ.

2021 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මාස 4 ක කාලයක් පැවැත්වෙනු ඇති අතර, DFCC බැංකුව වෙනුවෙන් Gateway Language Centre මගින් එහි මාර්ගගත පන්ති පවත්වනු ලබයි. පාඨමාලාවට සහභාගී වන තරුණ තරුණියන්ට ‘ඩේටා’ සඳහා දීමනාවක් සමග ‘හෑන්ඩ්ස් ෆ්‍රී සෙට්’ එකක්ද පිරිනැමේ.

DFCC බැංකුව විසින් මෙම පාඨමාලාව සඳහා අදාළ දිස්ත්‍රික්ක තුනෙහි පදිංචි, වයස අවුරුදු 18 ත් 25 ත් අතර, උසස් පෙළ සමත් තරුණ තරුණියන් වෙතින් අයදුම්පත් කැඳවන ලදි. පාඨමාලාව සඳහා සුදුස්සන් තෝරාගැනීමද මාර්ගගත ක්‍රමයට සිදුවන අතර, එම තරුණ තරුණියන්ට ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබීමට අමතරව වටිනා සහතික පත්‍රයක් ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් මෙමගින් හිමිවනු ඇත.

‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මුලින්ම ආරම්භ කරන ලද්දේ, තරුණ තරුණියන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් වැඩිදියුණු කරමින්, වර්තමාන ලෝකයේ වේගයෙන් පුළුල් වන ආර්ථික පරිසරය තුළ ජාත්‍යන්තරය සමග සන්නිවේදනය කිරීමට හැකියාව ලැබෙන පරිදි ඔවුන් සවිබල ගැන්වීමේ අරමුණිනි. මේ යටතේ මෘදු කුසලතා සංවර්ධනයට අමතරව නායකත්ව හැකියාව, කාල කළමනාකරණය, ඉදිරිපත් කිරීමේ හා ලිවීමේ හැකියාවන් සහ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීමේ හැකියාව යනාදියද වැඩිදියුණු කිරීම විශේෂත්වයකි. මෙම කුසලතා අද දවසේ රැකියා සොයාගැනීමට මෙන්ම, වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යාමටද අතිශයින් වැදගත් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා, “4 වන වරටත් මේ ආකාරයට ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන ක්‍රියාවට නැංවීමට හැකිවීම අපට මහත් සතුටක්. සමාජයීය වශයෙන් වගකීම් සහගත බැංකුවක් ලෙස අපගේ එක් ප්‍රධානතම ඉලක්කයක් වන්නේ, රැකියා අවස්ථා උදාකර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ඔස්සේ තරුණ පරපුර සවිබල ගැන්වීමයි. සැමට සමාන අවස්ථා උදාකර දෙමින්, ශක්තිමත් හා තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අපගේ කැපවීම මෙම වැඩසටහන මගින් මනාව පැහැදිලි වනවා. මෙය 2030 වසර වනවිට තිරසාරත්වයට වැඩිම දායකත්වයක් දක්වන බැංකුව බවට පත්වීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ අනිවාර්ය අංගයක් ලෙසත් හැඳින්විය හැකියි.” යනුවෙන් පවසයි.

Views: 76