2021 දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකයේ 12.3%ක වර්ධන වේගයක්

2021 වසරේ දෙවැනි කාර්තුවේදී (අප්‍රේල්, මැයි, ජූනි) මෙරට ආර්ථික වර්ධන වේගය 12.3%ක ධනාත්මක අගයක් ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2021 වසරේ දෙවැනි කාර්තුව සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තුව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර සිටියි.

ඒ අනුව මෙය පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා කළ ආර්ථිකයේ 16.4%ක සංකෝචනය හා සැසඳීමේදී ධනාත්මක වර්ධන වේගයක් පෙන්නුම් කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම 2021 වසරේ දෙවැනි කාර්තුව සඳහා වන ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2,170 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද මෙම වාර්තාවේ සඳහන් වෙයි. එය 2020 වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා වූ රුපියල් බිලියන 1,932ට සාපේක්ෂව වර්ධනයකි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය 2019 වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 2,312ට ළගා වී නොමැති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව 2021 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 3,626ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2020 වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 3,007 හා සැසඳීමේදී 20.6%ක ධන වෙනසක් පෙන්නුම් කර තිබේ.

මෙහිදී ආර්ථිකයේ ප්‍රධාන සංරචක තුන වන ‘කෘෂිකර්ම‘, ‘කර්මාන්ත‘ සහ ‘සේවා‘ යන අංශ පවත්නා මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය පිළිවෙලින් 9.2%ක්, 27.0%ක් සහ 57.9%ක් ලෙස සටහන්ව ඇත.

ඒ අනුව 2021 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී මෙම කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා යන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වයම පෙර වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව 8.1%ක, 22.1%ක සහ 7.5%ක සැලකිය යුතු ධනාත්මක වර්ධන වේගයක් වාර්තා කර ඇතැයිද ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Visits: 113