Empower පුවරුවෙහි ලයිස්තුගතවීම ගැන CSE මහනුවර ප්‍රාදේශීය ව්‍යවසායකයින් දැනුවත් කරයි

කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් කොළඹ කොටස් හුවමාරුවෙහි Empower පුවරුවෙහි ලැයිස්තුගත වීමේ පිළිබඳව දැනුම්වත් කරන මාර්ග ගත වැඩසටහන් මාලාවෙහි පස්වැන්න, මහනුවර ප්‍රාදේශීය ව්‍යවසායකයින් සඳහා කොළඹ කොටස් හුවමාරුව විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ බව පවසයි.

ප්‍රමුඛ ව්‍යවසායකයින් 25 ක පමණ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවට ඉතා ඉහල ප්‍රතිචාරයක් ලැබීම විශේෂත්වයකි. මෙම වැඩසටහන් පසුගිය මාස කිහිපය පුරාම මාතර, මීගමුව, අනුරාධපුර හා යාපනය නගරයන් කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා ප්‍රමුඛ දායකත්වයක් දක්වනු ලබන සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් සඳහා පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව තුලදී ප්‍රාග්ධනය රැස් කරගැනීමේ විකල්ප මාර්ගයක් ලෙස Empower පුවරුවෙහි වැදගත්කම හා ඒ හරහා ධනය උත්පාදනය කිරීමේ අවකාශය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී.

ලැයිස්තුගත වීමේ ක්‍රියාවලිය හා සුලු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත විය යුත්තේ ඇයි යන්න මෙන්ම අනුග්‍රාහකයෙකුගේ කාර්යභාරය පිළිබඳව Atarah Capital Partners (Pvt) Ltd කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් සෙනෙවිරත්න මහතාත්, ලැයිස්තුගත වීම පිළිබඳව තමන්ට ඇති අත්දැකීම් පිළිබඳව Chrissworld Limited හි කලමනාකර අධ්‍යක්ෂ සුරාජ් සුරවීර මහතාත් අදහස් පළ කිරීමට එක්ව ඇත.

කොළඹ කොටස් හුවමාරුවෙහි මහනුවර ශාඛා කළමනාකරු ධනංජය අබේසිරිවර්ධන මහතා සමගින් ආරාධිත දේශක මඩුල්ල විද්වත් සාකච්චාවකට එක් වෙමින් සහභාගී වුවන්ගේ ගැටළු සඳහා අදහස් දක්වන ලදී.

මෙම දේශන හා සාකච්ඡා තුලදී ප්‍රාග්ධන වෙළෙඳපොළ හරහා ශක්තිමත් ආයෝජක පිරිසක් එක් කරගැනීම මෙන්ම වඩාත් විනයක් හා නියාමනයක් සහිත ව්‍යාපාරයක් පවත්වා ගැනීම තුල ව්‍යාපාරයට අත්කරගත හැකි වටිනාකම සහ සහභාගීකරුවන් අතර විශ්වාසය මෙන්ම පිළිගැනීම ගොඩනංවා ගැනීම ගැන මූලික අවධානය යොමුවිය.

වසර 2021 තුලදී කොළඹ කොටස් හුවමාරුව සමාගම් 30ක් සඳහා ලයිස්තුගත වීම් හරහා ප්‍රාග්ධනය රැස් කරගැනීමට අවකාශය සලසා දී තිබෙන අතර වසර 2014 සිට මේ දක්වා සලකා බැලීමේදී මූලික කොටස් නිකුතුන්හි වාර්තා වූ ඉහලම අගයද මෙම වසරේ වාර්තා වේ. ඒ හරහා කොළඹ කොටස් හුවමාරුව රැස් කරගත් මුළු ප්‍රමාණය රුපියල් බිලියන 95කි.

EML Consultants Ltd සමාගම Empower පුවරුවෙහි ලැයිස්තුගත වන දෙවන සමගාම වන අතර කොටස් හුවමාරුව තවදුරටත් ඒ සඳහා දිරිමත් කිරීම් කරනු ලබයි. ශ්‍රී ලංකේය සමාගම් ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළින් ඉහල මූල්‍ය ස්වාධීනතාවක් ළඟා කරගැනීම, ප්‍රාග්ධනය සඳහා ප්‍රවේශ මාර්ගයක් ලෙස සැලකීම, ගෝලීය වශයෙන් තම පැතිකඩ ප්‍රවර්ධනය කර ගැනීම, ද්‍රවශීලතාව සඳහා ප්‍රවේශය මෙන්ම ගෝලීය ප්‍රධානයන් සඳහා අවශ්‍යතාව ළඟා කරගැනීම ආදී නේක අරමුණු සාක්ෂාත් කරගැනීම අතිශය තෘප්තියට කරුණකි.

Empower පුවරුව පිළිබඳව වැඩි විස්තර ලබාගැනීම සඳහා නිකුතු ආයතන සම්බන්ධතා අංශයෙහි ප්‍රධානී පුරසිසි ජිනදාස මහතා සම්බන්ධ කරගත හැකි අතර කොළඹ කොටස් හුවමාරුවෙහි වෙබ් අඩවියට www.cse.lk හරහා පිවිසීමෙන්ද ලබා ගත හැකිය.

Visits: 111