කොළඹ කොටස් හුවමාරුවෙහි “ගෙවීමට එරෙහිව පැවරීමේ පදනම” (DVP) දියත් කරයි

දශක ගණනාවක කාල පරාසය තුළ කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) ගනුදෙනු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අර්ථාන්විත වෙනසක් ලෙස පසුගිය 2021 අගෝස්තු 16 වන දින සිදු කළ “ගෙවීමට එරෙහිව පැවරීමේ පදනම” (DVP) සමථ කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම දැක්විය හැකි බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

තැරැව්කරුවන්ගේ ගනුදෙනු පද්ධති සම්බන්ධව මාස 7 ක් වැනි දීර්ඝ කාලීන පරීක්‍ෂණ කරමින් හා කොටස් වෙළෙඳපොළ ක්ෂෙත්‍රය තුළ පූර්ව පිරික්සුම් සිදු කරමින් මෙම “ගෙවීමට එරෙහිව පැවරීමේ” (DVP) යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ කොටස් හුවමාරුව “DVP වෙළඳ ක්‍රමවේදයෙහි ආසන්නම පූර්ව පිරික්සුම් මෙහෙයුම 2021 ජූලි 5 සිට අගෝස්තු 11 දක්වා කාලය තුළ කොළඹ කොටස් හුවමාරුව (CSE), තැරැව්කාර ආයතන සඳහා තාක්ෂණික ක්‍රමවේද සපයන්නන් (Broker System Vendors) සහ කොටස් තැරැව්කාර සමාගම් සම්බන්ධ කර ගනිමින්, දියත් කරන ලද අතර එය පරීක්‍ෂණ අවදිය තුළ වෙළෙඳපොළ සුමට ක්‍රියාකාරීත්වයට හේතු විය.

DVP යාන්ත්‍රණ පරිසරයේ මුල් දින දෙක තුළදී සක්‍රීය ගනුදෙනු මෙහෙයුම් වලදී එහි මෙහෙයුම් යටිතල පහසුකම් සහ සියලුම වෙළඳපොළ සහභාගිකරුවන්ගේ ගනුදෙනු පද්ධති බාධාවකින් තොරව ක්‍රියා කිරීම ගැන කොළඹ කොටස් හුවමාරුව ලෙස අපි සතුටට පත්වෙමු.” යනුවෙන් පවසයි.

කෙසේ වෙතත්, 2021 අගෝස්තු 16 වන සඳුදා දින තැරැව්කාර ආයතන සඳහා තාක්ෂණික ක්‍රමවේද සපයන්නෙකුට කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පද්ධතියට සම්බන්ධ වීමේ තාක්ෂණික ගැටළුවක් ඇති වූ අතර එමඟින් පූර්ව ගනුදෙනු සැසිය ප්‍රමාද විය.

එසේම 2021 අගෝස්තු 17 වන අඟහරුවාදා දිනද, එක්තරා ගනුදෙනු ක්‍රමවේද සපයන්නෙකුගේ සේවාව ලබාගන්නා තැරැව්කාර ආයතනයක ගනුදෙනුකරුවන්ගේ සුරැකුම්පත් ශේෂයන්හි යම් නොගැලපීම් ඇති බව කොළඹ කොටස් හුවමාරුව නිරීක්ෂණය කර තිබේ. එහිදී කොටස් තැරැව්කරුවන්ට තම සේවාදායකයින්ගේ සුරැකුම්පත් ශේෂයන් තහවුරු කර ගැනීමට අමතර කාලයක් ලබා දීම සඳහා විවෘත වෙන්දේසි කැඳවුම් සැසිය (Open Auction Call) පෙරවරු 11.45 දක්වා දීර්ඝ කෙරුණු අතර පෙරවරු 11.45 ට සුපුරුදු ගනුදෙනු ආරම්භ විය.

“පුළුල් පරීක්‍ෂණයකින් පසු DVP පහසු කරවීම සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පද්ධති වැඩි දියුණු කරන ලද අතර තැරැව්කාර ආයතන මට්ටමින් ඔවුන්ගේ ගනුදෙනු පද්ධති ද එවැනිම දැඩි පරීක්‍ෂණයකට සහ පිරික්සුම් ගනුදෙනු සැසි (Test Run) කිහිපයකට භාජනය කළ බව සැලකිය යුතුය. කෙසේ වුවද, රටේ පවතින වාතාවරණය අනුව දුරස්ථව ක්‍රියාත්මක වන බොහෝ වෙළඳපල සහභාගීකරුවන්හට ඉහත සඳහන් කළ තැරැව්කාර ආයතනයන් සඳහා ගනුදෙනු පද්ධති සපයන්නන් මුහුණ පෑ ගැටළු ඇති නොවිනි.” කොළඹ කොටස් හුවමාරුව පවසයි.

දින දෙකේදීම වෙළඳපොල ආරම්භය ප්‍රමාද කිරීමට සිදු වූයේ, ගැටලු ඇති තැරැව්කාර ආයතනවල ගනුදෙනු පද්ධති දෙක නිසි පරිදි නිවැරදි කිරීම පිළිබඳව තහවුරුවක් ලබා ගැනීමට අවශ්‍ය වූ නිසා වන අතර සාධාරණ හා විධිමත් වෙළෙඳපොළක ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා වූ වගකීම් සහිතව ගත යුතු ක්‍රියාමාර්ගයද මෙය වී තිබේ.

DVP ගනුදෙනු පරිසරය වෙත මාරුවීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන සියලුම වෙලඳපොල සහභාගීකරුවන්ට සහ ආයෝජකයින්ට පූර්ණ ලෙස ගනුදෙනු වලට සහභාගී වීමට අවස්ථාවක් ලබා දීම සහතික කිරීම සඳහා මෙම තීරණය ගත් බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි.
DVP සමථකරණ යාන්ත්‍රණය දියත් කිරීම වසර තුනක් වැනි දීර්ඝ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වන අතර, කොළඹ කොටස් හුවමාරුව (CSE), ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) කොටස් තැරැව්කාර ප්‍රජාව, තැරැව්කරුවන් සඳහා ගනුදෙනු ක්‍රමවේද සපයන්නන් වැනි සියළුම පාර්ශවකරුවන්ගේ සාමූහික ප්‍රයත්නයක් ලෙසිනුත්, නියමාකාරව සැලැසුම් කිරීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ සම්පත් වෙන් කිරීම තුළිනුත් ක්‍රියාත්මක කරන ලද්දකි.

“කොටස් හුවමාරුවෙහි නව ආයෝජන මෙවලම් හඳුන්වා දෙමින් සමථ කිරීමේ අවදානම නව්‍යකරණය හා අවම කිරීම සඳහා වන කොළඹ කොටස් හුවමාරුවෙහි සැලසුමෙහි අත්‍යාවශ්‍ය අංගයකි. තැරැව්කාර ගනුදෙනු පද්ධති අලෙවිකරුවන් විසින් අත්විඳින තාක්‍ෂණික ගැටළු පිළිබඳව කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විටත් පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර එවැනි සිදුවීම් නැවත ඇති නොවීමට දැඩි පියවර අනුගමනය කරනු ඇත.” කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 360