Pure Ceylon Tea සහිත පෞද්ගලික සන්නාම ප්‍රවර්ධන යෝජනා ක්‍රමය ඉදිරියටත්

Pure Ceylon Tea සන්නාමය සහිත පෞද්ගලික සන්නාම ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව රජය පවසයි.

ඒ අනුව වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සිලෝන් තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව මෙම පෞද්ගලික සන්නාම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහනත් ක්‍රියාත්මක කරන බව රජය පවසයි.

වැවිලි අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, පසුගියදා රැස් වූ කැබිනට් මණ්ඩල හමුවේදී ඊට අනුමැතිය ලැබී තිබේ.

එහිදී 2021/2022 වර්ෂය තුළ සන්නාම ප්‍රවර්ධන යෝජනා ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කරමින් දැනට රටවල් 12ක පවතින ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිලෝන් තේ අළෙවිසැල් (Ceylon Tea Shops and Houses) ප්‍රවර්ධනය කිරීම සඳහා ද අවශ්‍ය දිරිගැන්වීම් ලබා දීම සිදු කිරීම රජයේ අදහස වී ඇත.

2015 වසරේදී ඉදිරිපත් වූ අයවැය යෝජනාවක් අනුව මෙම ක්‍රමය හඳුන්වාදීම සිදු විය. එහිදී සිංහ ලාංඡනය සහිත සුපිරිසිදු සිලෝන් තේ සන්නාමය (Pure Ceylon Tea) සහිතව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි සමාගම් සඳහා එම සන්නාම ප්‍රවර්ධන වියදමින් 50 %ක ගැලපුම් ප්‍රදානයක් ලබා දීම සිදු කෙරිණි. ඒ සඳහා මේ දක්වා සමාගම් 38ක් සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව 2015/2016 කාලසීමාව තුළ සමාගම් 20ක්ද, 2018/2019 කාලසීමාව තුළ සමාගම් 18ක්ද මෙම ප්‍රතිලාභ ලබා තිබෙන බව රජය පවසයි. මෙහිදී අදාළ සන්නාම ප්‍රවර්ධනය සඳහා වන වියදමින් 50%ක් රජය විසින් ලබා දීම සිදුව ඇත.

Visits: 101