රටෙහි අවුරුදු 30ට වැඩි 36%කට පළමු COVID-19 එන්නත් මාත්‍රාව ලබා දීලා

මෙරට වයස අවුරුදු 30ට වැඩි පිරිසගෙන් 36%කට කොවිඩ්-19 මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි. ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

ඒ අනුව කොවිඩ් මර්දන ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දෙවැනි මාත්‍රාවද වයස අවුරුදු 30ට වැඩි පිරිසගෙන් 13%කට ලබා දී අවසන් බවත්, කොවිඩ් -19 මර්දන එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කරන ලෝකයේ රටවල් අතරින් ලංකාව ඉදිරියෙන් සිටින බවත් ඒ මහතා මෙහිදී පවසා ඇත.

මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් 70%කට පළමු මාත්‍රාවද, 25%කට දෙවැනි මාත්‍රාවද ලබා දී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් 56% පළමු මාත්‍රාවද, 21%කට දෙවැනි මාත්‍රාවද ලබා දී ඇත. කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනයෙන් 54%කට පළමු මාත්‍රාවද, 20%කට දෙවැනි මාත්‍රාවද ලබා දී ඇත.

ඒ අනුව එන්නත්කරණය ආරම්භ කර ගත වුණු දින 150 තුළදී මෙරට ජනගහනයෙන් 4,520,537කට මේ වනවිට එන්නත්පළමු මාත්‍රාව ලබාදී ඇති අතර, 1,537,230කට දෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.

මෙහිදී කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව 925,242කටද, දෙවැනි මාත්‍රාව 385,885කටද, සයිනොෆාම් පළමු මාත්‍රාව 3,417,525කටද දෙවැනි මාත්‍රාව 1,136,881කටද, ස්පුට්නික් V පළමු මාත්‍රාව 154,003කටද, දෙවැනි මාත්‍රාව 14,464කටද, ෆයිසර් පළමු මාත්‍රාව 23,767කටද මේ දක්වා ලබාදී ඇතැයිද වසංගත රෝග විද්‍යා අංශය සඳහන්කරයි.

මේ අතර ඉදිරි සති දෙක තුළදී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 6ක් පමණ මෙරටට ලැබීමට නියමිත බවත්, එන්නත්කරණ වැඩසටහන නිසා කොවිඩ් වැළැදීමෙන් වන මරණ සහ සංකූලතා අවම කරගත හැකි බවද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

Views: 43