“මැයි හා සාපේක්ෂව ජූනි විදේශ ආයෝජන පිටතට ගලායෑම් අඩුවීම යහපත් ප්‍රවණතාවක්” – නිරෝෂන් විජේසුන්දර

කොළඹ කොටස් හුවමාරුවේ ශුද්ධ විදේශ ආයෝජන පිටතට ගලායෑම් මේ වසරේ මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී පහත වැටී ඇති බවත්, එය විදේශීය ආයෝජකයින්ට මෙරට කොටස් වෙළඳපොල කෙරෙහි තවමත් විශ්වාසයක් ඇති බව පෙන්නුම් කරන්නක් බවත් කොළඹ කොටස් හුවමාරුවෙහි, වෙළඳපල සංවර්ධන ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා පවසයි.

පසුගියදා ද අයිලන්ඩ් පුවත්පත වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

“අලූත් අවුරුද්දෙන් පස්සේ කෝවිඩ් 19 තෙවන රැල්ලේ ව්‍යාප්තිය නිසා මැයි මාසය තීරණාත්මක මාසයක් වුණා. ඒ නිසා විදේශීය ආයෝජන පිටතට ගලායාම/විකිණීම රු. බිලියන 6.4 ක් බවට පත්වුණා. කොහොම වුණත්  ජුනි මාසයේදී විදේශ ආයෝජන පිටතට ගලායාම/විකිණීම රු. බිලියන 3.76 ක් දක්වා අඩු වෙලා තිබෙනවා. එය වෙළඳපොළට බෙහෙවින් යහපත් ප්‍රවණතාවයක්” විජේසුන්දර මහතා පුවත්පත වෙත වැඩිදුරටත් පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා මැයි මාසයේදී NDB බැංකුව සමගින් රුපියල් බිලියන 1.5ක පෞද්ගලික ආයෝජනයක් සිදුව ඇති බවත්, එය කැපී පෙනෙන විදෙස් ආයෝජක සහභාගිත්වයක් වන බවත් පවසා සිටියි.

එසේම පසුගිය සති කිහිපයේදී දැඩි කතාබහකට ලක් වූ LOLC Development Finance සමාගම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඒ මහතා, එහි කොටස් අතරින් මහජනතාව වෙත ගනුදෙනු කිරීම සඳහා ඉදිරිපත් කර ඇත්තේ 0.03%ක් පමණක් බව පවසා සිටියේය. ඒ අනුව මෙම කොටස් සියල්ලම මිලඅවිනිශ්චිත කොටස් බවත්, ඇතැම් විට සමාගම් විසින් වෙළඳපොලේ කොටස්වල නිදහස් පාවීම සහතික කිරීම සඳහා මෙය සිදු කරන බවත්, එය සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල අවශ්‍යතා මත රඳා පවතින බවත් පෙන්වා දී තිබේ.

Visits: 141