අන්තර්ජාල නිර්මාණකරුවන්ට ව්‍යාපාරික බැංකු ණය පහසුකම්

සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය ඔස්සේ ආදායම් උපදවන මෙරට  නිර්මාණකරුවන්ට ඉදිරියට යාමට අවශ්‍ය ව්‍යාපාර බැංකු ණය පහසුකම් ලබාදෙන වැඩපිළිවෙලක් සකස් කරන බව තරුණ හා ක්‍රිඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ ව්‍යපාරික සංගමයේ මාර්ගගත ඩිජිටල් වෙළඳපොළ ක්‍රමය One mart App, Dizcard Businesses කාඩ්පත සහ Around.lk ඩිජිටල් නාමාවලිය හඳුන්වාදෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කොළඹ රාමඩා හෝටලයේ දී ඊයේ (07) දින මේ බව සඳහන් කර තිබේ.

ඔන්ලයින් ව්‍යාපාර කරන බවට ප්‍රකාශ කළද එවැන්නක් බැංකුවට පැහැදිළි කිරීම අපහසු නිසා හොඳ පරිගණකයක් එසේත් නැතිනම් හොඳ ඩිවයිස් එකක් මිල දී ගැනීමට ණයක් බලාපොරොත්තුවන පුද්ගලයන් වුවද අසරණ වී ඇති ඇතැයි පෙන්වා දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කර කඩිනම් වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් සකස් කරන බව අවධාරණය කර ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති නාමල් රාජපක්ෂ මහතා, “අපි දකිනවා මේ සමාජ මාධ්‍ය ඔස්සේ, අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසක් ව්‍යාපාර කරනවා. මේ ව්‍යාපාර කරන අයට තිබෙන විශාල ගැටලුව තමයි බැංකුවකට ගියාම ණයක් ගන්න විදියක් නැහැ. ව්‍යාපාරයක් හෝ ස්ථානයක් නැහැ පෙන්නන්න. මේක ඔන්ලයින් ව්‍යාපාරයක් කියලා බැංකුවට පැහැදිලි කරන්න අමාරුයි.

ඊයේ මට හමුවුණා තරුණයෙක්. පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ. පුත්තලමේ ජීවත් වෙන්නේ. මාසෙකට අමෙරිකානු ඩොලර් 6000 ක් හොයනවා.  හැබැයි ඒ ළමයාට අද වෙනකල් බැංකුවෙන් ණයක් ගන්න පුලුවන් කමක් නැහැ. මම මේ රටේ බැංකු පද්ධතියෙන් ඉල්ලීමක් කරන්නේ මේ  දරුවන්ට තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න අවශ්‍ය ණය ලබා දෙන්න කියලා.” යනුවෙන් පැවසීය.

“සමහර අය තමන්ගේ හැකියාවන් මත කන්ටෙන්ට් හදලා විදේශ සමාගම් වලට අලෙවි කරනවා. තමන්ගේම ජිවිකාව සාර්ථක කර ගන්න ඔවුන් මුදල් හම්බකරනවා.

ඒ අය ණයක් බලාපොරොත්තු වෙන්නේ හොඳ ඩිවයිස් එකක් ගන්න. පරිගණකයක් ගන්න. මේ සියලු දේ සඳහා අපි ඉදිරියේදී රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.” ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

විශේෂයෙන්ම සමෘද්ධිලාභී පවුල්වල දරුවන් බොහෝ පිරිසක් මෙම ක්ෂේත්‍රයේ සිටින බවත්, එම නිර්මාණශීලීත්වය ධනාත්මක ලෙස ගෙනාවොත් සාර්ථක වන බවත් ඔහු පවසා ඇත.

“මඩ ගහන්න, චරිත ඝාතනය කරන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා මෙන් එය ධනාත්මක පැත්තට හැරෙව්වොත් විශාල සමාජ පෙරළියක් සමඟ දකුණු ආසියාවේ නිර්මාණාත්මක කේන්ද්‍රස්ථානය (ක්‍රියේටිව් හබ්) බවට ශ්‍රී ලංකාව පත් වෙනවා” යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

“ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගන්න අවශ්‍ය වපසරිය අපි ඉදිරියේ දී හදනවා. අපිට ඒ නිර්මාණාත්මක තරුණ පරම්පරාව එකතුකරගෙන හොඳ ගමනක් යා හැකියි. අපි ඒ අයගේ කන්ටෙන්ට් ඩිවලොප් කළ යුතුයි. වෙළදපොළ සකස් කරලා දිය යුතුයි. මේ සියල්ල ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ලෙස ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 97