HNB වෙතින් කෘෂිකාර්මික අංශයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට නව ලීසිං පහසුකම්

කෘෂිකාර්මික අංශයේ සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (MSME) දියුණු කිරීමේ අවස්ථාවන් වැඩි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ව්‍යාවසායකයින්ට බොහෝ ප‍්‍රතිලාභ හා අවස්ථාවන් ලබා දීම සඳහා නව ලීසිං පහසුකමක් හඳුන්වා දී ඇතැයි පවසයි.

කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක‍්‍රියාත්මක කර ඇති මුලපිරීම් සමඟ එක්ව කටයුතු කරන HNB පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබෙන බව සහතික කරයි. එමෙන්ම මෙම පහසුකම මගින් ගනුදෙනුකරුවන්ට බැංකුවේ පුළුල් වූ වෙළෙඳ හවූල්කරුවන් වෙතින් පුළුල් පරාසයක ප‍්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ඇත.

මේ පිළිබඳව අදහස් දැක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සහාකර අධිපති ජේ. පී. ආර්. කරුණරත්න මහතා ‘‘ශ්‍රී ලංකාවට දිගුකාලීන තිරසාර වර්ධනයක් අත්කර ගැනීම සඳහා රටේ දළ දේශීය නිෂ්පාදනය සඳහා 52%ක පමණ දායකත්වයක් ලබා දෙන MSME අංශය සවිබල ගැන්වීම වැදගත්. අපගේ ව්‍යවසායකයින්ට අවශ්‍ය ප‍්‍රාග්ධන ශක්තිය ලබා දෙන අතර ඔවුන්ගේ මූල්‍ය හැකියාවන් වැඩිදියුණු කරගැනීමට සහාය වීමෙන් මෙය කළ හැකි බව අධීක්ෂකයා ලෙස අප විශ්වාස කරනවා. ‘‘ඒවගේම ගැමි පුබුදුව වැඩසටහන හරහා පසුගිය වසර පුරාවට සිදු කළ මුලපිරීම්වලට මෙන්ම ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර තිරසාර ලෙස වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබා දෙන මෙම පහසුකම හඳුන්වා දීම පිළිබඳව ද මා HNB හට ස්තූතිවන්ත වෙනවා.’’ යනුවෙන් පැවසුවේය.

 රට පුරා සිටින සිය ශක්තිමත් ක්ෂුද්‍ර මූල්‍ය නිලධාරීන් 175 සමඟ කටයුතු කරමින් ගැමි පුබුදුව වැඩසටහන හරහා බැංකුව එම අංශයේ වර්ධනයට පහසුකම් සලසා ඇත. තවද නිපුණතා සංවර්ධනය පිළිබඳ සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් වටිනාකම් සංවර්ධනය කිරීමට හා ධාරිතා වර්ධන කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ලීසීං ගනුදෙනුකරුවන් සඳහාම වූ සැසි ආදිය සංවිධානය කරමින් HNB එම සහායම ලබා දෙනු ඇත.

මෙම අවස්ථාවට එක් වෙමින් විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී දිල්ශාන් රොද්‍රිගෝ මහතා ‘‘කෘෂිකාර්මික අංශය සඳහා නව ලීසිං පහසුකමක් හඳුන්වා දීම පිළිබඳව අප සැබවින්ම ආඩම්බර වනවා. ගැමි පුබුදුව වැඩසටහන ඔස්සේ අප MSME ගනුදෙනුකාරභවතුන් 10,000කට වැඩි සංඛ්‍යාවක් සමඟ කටයුතු කර තිබෙනවා වගේම මෙම නව පහසුකම හරහා ගැමි පුබුදුව වැඩසටහන අනෙකුත් අයට ද ව්‍යාප්ත කිරීමට අප අදහස් කරනවා.’’ යනුවෙනි.

කෘෂිකාර්මික අංශය තුළ පහසු ගෙවීමේ විසඳුම් වැඩිදියුණු කරමින් HNB SOLO, MOMO සහ Appigo වැනි ඩිජිටල් වේදිකා හරහා මෙම පහසුම භාවිතා කිරීමට බැංකුව සියලූම ගනුදෙනුකරුවන්ව සම්බන්ධ කරගනු ඇත. තවද HNB සිය අතිනවීන බැංකු සේවාවල (backend systems) සහාය ඇතිව අඛණ්ඩ එක්දින අනුමත කිරීමේ ක‍්‍රියාවලියක් ද ලබා දෙයි. මෙම පහසුකම ලබා ගන්නා ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 4.5 ක නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් හිමි වන අතර මෙම රක්ෂණය HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් වට්ටම් සහිත මාසික වාරික හා සම්බන්ධ කර ඇත.

එමෙන්ම, ලීසිං ගනුදෙනුකාරභවතුන්ට නොමිලේ Prestige Prime ණයපතක් ද බැංකුව ලබා දෙනු ඇති අතර ගනුදෙනුකරුවන්ට විවිධ කෘෂිකාර්මික නිෂ්පාදන හා සේවා සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මෙම ණයපතේ පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

Views: 37