වසර තුළ සිදු වූ ආයෝජන පිටතට ගලායාම් රු.බිලියන 40 ඉක්මවයි

අද (ඔක්තෝබර් 02දා) කොළඹ කොටස් හුවමාරුවේ සිදු වුණු ගනුදෙනු අතරතුරදී සුපුරුදු පරිද්දෙන්ම බොහෝ ආයෝජකයන් තුළ අඩු මිල කොටස් මිලදී ගැනීම සඳහා වන උනන්දුව එලෙසින්ම පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම ජාත්‍යන්තර මූඩි’ස් ආයතනය බැංකු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වර්ගීකරණය මෙන්ම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු විසින් සිය ණයහිමියන් වෙත ලබා දී තිබූ ණය පමාසහන කාලසීමාව කල්පිරීමත් සමගින්ම බැංකු කොටස් හි ලාභ සම්බන්ධයෙන් වන අවධානයද අද දිනයේදී  ඉහළ ගිය බව එම සමාගම් සඳහන් කරයි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,997.96 ත් ඒකක 6,075.27 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,050.17ක් බවට පත්විය. ඒ අනුව පෙරේදා (සැප්තැම්බර් 30) දිනයට සාපේක්ෂව එය ඒකක 65.33 ක් එනම් 1.09%ක  ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව කළ ගනුදෙනු ලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 10%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 141ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 54ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+9.01),  කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+8.82), එල්ඕඑල්සී පීඑල්සී LOLC (+4.38),  එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් පීඑල්සී NIFL (+4.06), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.31), හැටන් නැෂනල් බැංකුව HNB (-2.37), ජෝන් කීල්ස් හොල්ඩිංග්ස් පීඑල්සී JKH (-1.82),  කොමර්ෂල් බැංකුව COMB (-1.59), සම්පත් බැංකුව SAMP (-1.5)  සහ නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව NDB (-1.07) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,454.43 ක අගයක් ගත් අතර, එය පෙරේදා (සැප්තැම්බර් 30) දිනයට සාපේක්ෂව ඒකක 8.84 ක එනම් 0.36%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.24ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය පෙරේදා (සැප් 30දා) වාර්තා කළ රුපියල් බිලියන 2.07 ට සාපේක්ෂව 57%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

එසේම මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා සිදුව ඇති සමස්ත ආයෝජන පිටතට ගලායාම්ද අද දිනයේදී රුපියල් බිලියන 40 සීමාව ඉක්මවීය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.62 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 7.97%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 85.15ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 745.24ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 660.1කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 40.52ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.86කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 254.34ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 596ක් සඳහා ප්‍රාග්ධණ භාණ්ඩ දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 18% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රවාහන සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 593ක සහ රුපියල් මිලියන 528ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 192