ඩො. මිලියන 13.8ක් වැය වූ මොරිසන් ඹෟෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව අගමැති අතින් විවෘත වෙයි

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන මොරිසන් සමාගම මගින් හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC) කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඹෟෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වීම සිදු විය.

වසර තුනකට පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතනයේ වැඩ අවසන් කිරීම සඳහා වැය කළ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 13.8 කි. මෙය මොරිසන් සමාගම සතු දෙවැනි ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවද වෙයි.  

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඹෟෂධ පෙති බිලියන 1.8 ක් ආනයනය කරන අතර මෙම ඹෟෂධ නිෂ්පාදන මධ්‍යස්ථානය මඟින් ඉදිරියේදී එම දේශීය අවශ්‍යතාවයෙන් 20 ක් කොටසක් සපුරාලීමට නියමිතව ඇත. මෙහිදී යුරෝපා සංගමයේ යහපත් නිෂ්පාදන ක්‍රමවේදවලට අනුකූලව පවත්වාගෙන යන ප්‍රථම ඝන ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවද මෙය වෙයි.

රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමඟාමීව දේශීය ඹෟෂධ නිෂ්පාදනය ඉහළ දැමීමේ හා දිරි ගැන්වීමේ අරමුණින් ආරම්භ කෙරෙන මෙම මධ්‍යස්ථානය ඔස්සේ ඉදිරියේදී විදේශීය ඇණවුම් සඳහා ඹෟෂධ නිෂ්පාදනයද සිදු වන බව රජය සඳහන් කරයි.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, විමල් වීරවංශ, ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, හේමාස් සමූහ ව්‍යාපාරයේ සභාපති හුසේන් යුසුක් අලි, මොරිසන් පී.එල්.සී. ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මුරතාසා යුසුක් අලි මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දක්වා සිටි මොරිසන් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මුර්තසා එසුෆලි මහතා, “දැරිය හැකි මිලකට උසස් ප්‍රමිතියේ ඖෂධ ලබා දීමේ මොරිසන් සමාගමේ වසර 80ක දැක්ම තවදුරටත් ඉදිරියට ගෙන යමින් මෙම නවතම කර්මාන්ත ශාලාව පිහිටුවීම අප සමාගමේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනවා.” යනුවෙන් සඳහන් කර සිටියි.

එසේම මෙම ආයෝජනය ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම්ගත පදනම මත සිදු කෙරුණු ආයෝජනයක් බැවින් ඒ හරහා ව්‍යාපාරික අවස්ථා පුළුල් කරගැනීමටත්, ගෝලීය වෙළෙඳ  පොළ තුළ වඩාත් තරගකාරී වීමටත් තමන්ට අවස්ථාව උදා වන බව ඒ මහතා පවසා සිටියි. එසේම රජයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය හරහා අපනයන අවස්ථා වර්ධනය කර ගැනීමටත්, ගෝලීය ඖෂධ සමාගම් සහ නිෂ්පාදන කොන්ත්‍රාත්වලට එළඹීමටත් හැකි වනු ඇති බවත් ඔහු සඳහන් කර සිටියි.

“හේමාස් සමාගම ගෝලීය ඖෂධ ක්ෂේත්‍රයේ දැවැන්තයින් සමග ඇතිකර ගෙන ඇති සවිමත් සබඳතා හරහා මොරිසන් සමාගම ද එම දැවැන්තයින් සමග සම්බන්ධ වෙමින් උසස් ම ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන සම්පාදනය කිරීමට බලාපොරොත්තු වනවා. නව වෙළෙඳපොළ තුළ නව නිෂ්පාදන සහ සංවර්ධන අවස්ථා ගොඩනැගීම හරහා ගෝලීය නියමයන් සහ රෙගුලාසිවලට අනුකූලව මෙම නව වර්ධන අදියරට සාර්ථකව මුහුණදීමට අප කටයුතු කරනවා. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සමග ඇති සබඳතාව හරහා නැනෝ සහ උසස් තාක්ෂණ මිශ්‍රණ පර්යේෂණ තවදුරටත් පුළුල් කිරීමට ද අපට හැකි වනවා,” යනුවෙන් එසුෆලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මොරිසන් සමාගම විවිධ ඖෂධ සංයෝග 75 ක් නිෂ්පාදනය කරන අතර විශේෂයෙන් බෝ නොවන රෝග සඳහා අවශ්‍ය ඖෂධවලට ඇති ශීඝ්‍ර ඉල්ලුම සපුරාලීමට ඉදිරි වසර කිහිපය තුළ කටයුතු කිරීමට අපේක්ෂා කරයි. මෙම නව කර්මාන්තශාලාවට වාර්ෂිකව ඖෂධ පෙති බිලියන 5 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති අතර ද්විත්ව වැඩමුර යටතේ උපරිම ධාරිතාවයෙන් ඖෂධ බෝතල් මිලියන 10 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. එමගින් පුහුණු රැකියා 250 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට ද අපේක්ෂිතය.

නිෂ්පාදන හැකියාව මෙන්ම හෝමාගම ප්‍රදේශයේ පාසල් ඖෂධ විද්‍යාව පිළිබඳ දැනුම්වත් කිරීම සහ අභ්‍යන්තර රැකියා පුහුණු සහ ඒකාබද්ධ පර්යේෂණ සඳහා උසස් අධ්‍යාපන ආයතන සමග සම්බන්ධ වීම හරහා හෝමාගම ප්‍රදේශයේ ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට ඇති හැකියාව ද නිසා මෙම කර්මාන්තශාලාව සුවිශේෂී වෙයි.

මානව දෝෂ වළක්වා ගැනීම සඳහා අවම මිනිස් මැදිහත්වීමක් සිදුවන පරිදි නිර්මාණය කර ඇති මෙම නව කර්මාන්තශාලාව, මුළුමනින් ම ස්වයංක්‍රිය ද්‍රව නිෂ්පාදන සහ ඇසුරුම්කරණ ක්‍රමවේද, පරිපූර්ණ රසායන සහ ක්ෂුද්‍රජීව විද්‍යාගාර, පාරිසරික තත්ත්ව පාලනය කිරීම සඳහා වෙනම වායු මෙහෙයුම් ඒකක මෙන්ම ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ මෘදුකාංගයකින් ද සමන්විතය. මෙරට ප්‍රථම ශුන්‍ය ද්‍රව විසර්ජන අපජල පද්ධතියෙන් යුතු කර්මාන්තශාලාව ද මෙය වන බව සමාගම සඳහන් කරයි.

Visits: 302