වටිනා කොටස් හරහා ලාභ උපයද්දී අඩු වටිනාකම් කොටස් තුළ ගැනුම්බරතාව ඉහළට

අද දිනයේ (සැප්තැම්බර් 24) කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනු අතරේදී ආයෝජකයන් තවදුරටත් ඉහළ වටිනාකම් සහිත කොටස් හරහා ලාභ ඉපැයීමේ අපේක්ෂාවෙන් පසුවන බව නිරීක්ෂණය වූ බවත්, බොහෝ ආයෝජකයන් තුළ වටිනාකම් අඩු කොටස් මිලදී ගැනීමේ වැඩි කැමැත්තක් තිබූ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්හි කොටස් වටිනාකම් ඉහළ යෑම අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකයේ ඉහළ යෑම සදහා හේතු වී ඇත. එහෙත් අද දිනයේදීද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය තවදුරටත් ඍණ අගයකට පත්ව තිබුණි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,783.94 ත් ඒකක 5,813.30 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,811.20ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (සැප්තැම්බර් 23) දිනයට සාපේක්ෂව එය ඒකක 39.10 ක් එනම් 0.68%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව කළ ගනුදෙනු ලෙස කොමර්ෂල් බැංකුව, ඉන්ඩස්ට්‍රියස් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ හැටන් නැෂනල් බැංකුව සමාගම් සිදු කළ ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 12%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 122ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 68ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+8.55),  බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+7.09), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+5.29), කාර්සන් කුම්බර්බැච් පීඑල්සී CARS (+4.52), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+4.05), එච්.එන්.බී. ෆිනෑන්ස් පීඑල්සී HNBF (-5.56), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-4.55),  එල්ඕඑල්සී පීඑල්සී LOLC (-1.97), ආසිරි හොස්පිටල්ස් පීඑල්සී ASIR (-1.83)  සහ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී SINS (-1.12යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,481.92 ක අගයක් ගත් අතර, එය පසුගිය ඊයේ (සැප්තැම්බර් 24) දිනයට සාපේක්ෂව ඒකක 4.09 ක එනම් 0.16%ක  පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.85ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ වාර්තා කළ රුපියල් බිලියන 2.15 ට සාපේක්ෂව 32%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.53 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 11.41%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 254.29ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 772.23ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 517.9කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 38.17ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 87.99කි. එසේම කොමර්ෂල් බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 349.14ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 671ක් සඳහා බැංකු දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 24% ක අගයක් ගෙන තිබේ. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ  ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 494ක සහ රුපියල් මිලියන 402ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 439

Leave a Reply

Your email address will not be published. Required fields are marked *