පානීය ජල බෝතල් ව්‍යාපාරිකයෙකු චීනයේ ධනවතා වෙයි

චීනයේ පානීය ජල බෝතල් අලෙවියේ නිරත ව්‍යාපාරිකයෙකු වන සොන්ග් ෂාන්ෂාන් එරට අලුත්ම ධනවතා බවට පත්වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. ඊයේ නිකුත් කෙරුණු බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ඔහුගේ වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 58.7ක් ලෙස සටහන්ව ඇත.

ඒ අනුව පුරා වසර හයක කාලයක් චීනයේ අංක එකේ ධනවතාව සිටි අලිබාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා අභිබවමින් සෝන්ග් එම තත්ත්වයට පත්ව තිබේ. ඔහු සිය පානීය ජල බෝතල් සමාගම චීන කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත කිරිමත් සමගින්ම මෙලෙස වත්කම් ඉහළ යාම සිදුව තිබේ.

%හුදෙකලා වෘකයා^ යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන සොන්ග් 1996 වසරේදී චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ සෙජිආන්ග් පළාතේදී Nongfu Spring නමින් සිය පානීය ජල බෝතල් කර්මාන්තය ආරම්භ කර තිබේ.

එසේම ඔහු සතුව එන්නත් නිෂ්පාදන සමාගමක්ද පවතින අතර ඒ හරහාද ඔහු වත්කම් උපයා ගැනීමට සමත්ව ඇත. ඔහුට අයත් මෙම බෙයිජිං වාන්ටායි බයෝලොජිකල් ෆාමසි එන්ටර්ප්‍රයිසස් සමාගම පසුගිය අප්‍රේල් මාසයේදී චීන කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත වූ අතර අගෝස්තු මාසය වනවිට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 20කින් ඉහළ යාම සිදු විය.

චීනයේ අලුතින් බිහි වන ධනවතුන් බොහෝ දෙනෙකු තාක්ෂණික සමාගම් හරහා මතු වන පසුබිමක් තුළ පානීය ජල බෝතල් නිෂ්පාදකයෙකු මෙලෙස චීනයේ අංක එකේ ධනවතා බවට පත්විමත් කැපී පෙනෙන අවස්ථාවක් වී තිබේ. ඒ අනුව චීනයේ කඩසාප්පු සහ ආහාර අංශය මේ වනවිට තාක්ෂණික කර්මාන්ත අංශය හා සමසමව ධනවතුන් බිහි කරන අවස්ථාවක් බවට පත්ව ඇති බවට මෙය සාක්ෂියක් බවත් මාධ්‍ය පවසයි.  

මේ අතර සොන්ග් මේ වනවිට ආසියාවේ දෙවැනි ධනවතා බවටද පත්ව තිබේ. එහි අංක එක ස්ථානය ඉන්දියාවේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි හිමිකරු මුකේෂ් අම්බානි වෙත හිමි වෙයි.

කෙසේ වෙතත් සොන්ග් සතු වූ මෙම තත්ත්වය තවත් මාස කිහිපයක් සඳහා පමණක් වලංගු වෙනු ඇති බවත්, ජැක් මා ලබන මාසයේදී සිය අලිබාබා සමූහයට අයත් Ant Group සමාගම චීන සහ හොංකොං කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත කිරිමත් සමගින්ම යළිත් වටයකට ඔහුගේ වත්කම් ඉහළ යාම ඊට හේතු වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Visits: 400