පිට පිට දෙවැනි දිනටත් සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3 ඉක්මවයි

අද දිනයේ (සැප්තැම්බර් 16) දා වෙළෙඳ පොළ ගනුදෙනුවේදී දේශීය ආයෝජකයන් තුළ නිෂ්පාදන අංශයේ සමාගම්හි කොටස් පිළිබඳව වන උනන්දුව තවත් වැඩි කරවමින් ඒ සඳහා වන ගැනුම්බරතාව ඉහළ ගිය බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගම සිය කොටස් වටිනාකම් ඉහළයාමේ පසුබිම පිළිබඳ දිනය මැදදී සිදු කළ පැහැදිලි කිරීමද දිනයේ ගනුදෙනු සඳහා යම් තරමකින් බලපෑම් එල්ල කෙරුණු බව එම සමාගම් සඳහන් කරයි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,549.74 ත් ඒකක 5,598.22 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,585.40ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (සැප්තැම්බර් 15) දිනයට සාපේක්ෂව එය ඒකක 51.71 ක් එනම් 0.93%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව කළ ගනුදෙනු ලෙස හැටන් නැෂනල් බැංකුව, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සහ ඩීඑෆ්සීසී යන සමාගම් සිදු කළ ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 15%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 98ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 80ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී  DIST (+14.82),  මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS  (+7.51), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+3.18), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+3.15), ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී TKYO (+2.95), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-2.81), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-2.50),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සි JKH (-2.43), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.47)  සහ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-1.35යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,406.36 ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 15) දිනයට සාපේක්ෂව ඒකක 17.03 ක එනම් 0.71%ක  ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.53ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ වාර්තා කළ රුපියල් බිලියන 3.2 ට සාපේක්ෂව 10%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.43 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 14.86%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 160ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 496ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 336 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 36.32ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය  හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 71.9කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 163.18ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 671 ක් සඳහා ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 19% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ අංශය සහ බැංකු දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 657ක සහ රුපියල් මිලියන 398ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 124