සුළං හෝ සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් දිරි ගැන්වීමට පියවර

සුළං හෝ සූර්ය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට පෞද්ගලික ව්‍යවසායකයින්ට තිබෙන බාධා ඉවත් කර, රජය විසින් ඒ සඳහා සියලු දිරි ගැන්වීම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ හරහා වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළ යුතු යැයිද හෙතෙම අවධාරණය කරයි.

සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පවසා ඇත.

ඒ අනුව, එවැනි ව්‍යාපෘතියකට අනුමැතිය දීමේ බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබාගත යුතු බවත්, අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළ යුතු බවත් ජනපතිවරයා නිලධාරීන් වෙත අවධාරණය කර තිබේ. එසේම යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලූ විට දින 14කදි ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බවද ජනපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

,දේශගුණික විපර්යාසය නිසා ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වෙමින් සිටිනවා. මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩිවීම 6% ක්. සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමත් සමග බලශක්ති ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබෙනවා., ජනපතිවරයා පවසා ඇත.

ඒ අනුව අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විදීමට හැකි තිරසර සංවර්ධනයකට මග පාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී තිබේ.

මෙහිදී පාසල්, කර්මාන්තශාලා සහ රජයේ ගොඩනැගිලිවල වහලමත සූර්ය බලශක්ති පැනල සවිකිරීමට ඇති හැකියාවත්, ලැබෙන ලාභයෙන් කොටසක් අදාළ ආයතන වෙත දීමට ඇති හැකියාවත් කෙරෙහි සාකච්ඡාවේදී අවධානයට යොමුවී තිබේ.

එසේම ප්‍රතිසංස්කරණයට යෝජිත වාරි ව්‍යාපෘති 5000 ආශ්‍රිතව සූර්ය බලශක්ති පැනල සවිකිරීමට ඇති හැකියාව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාද මෙහිදී පෙන්වාදී ඇත. එම සූර්ය බලශක්ති ව්‍යාපෘති අදාළ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන්ට පමණක් දීමත්,  ප්‍රතිලාභයෙන් යම් ප්‍රතිශතයක් ගොවි සමිති වෙත ප්‍රදානය කිරීමත් සුදුසු බව හෙතෙම පවසා තිබේ.

මේ අතර, මන්නාරම, පුනරින් සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල සුළං බලාගාර ඉදිකිරීමෙන් ජාතික විදුලි බල පද්ධතියට සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතයක්  එකතු කර ගැනීම ඉලක්කයක් බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය කෙරී ඇත.

ජනපතිවරයා සමග මෙම සාකච්ඡාව සඳහා විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්කර යන මහත්වරු මෙන්ම කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන ප්‍රධානිහූ සහ බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ එක්ව තිබේ.

Visits: 218