ජූලි මාසයේදී විදේශ මුදල් ප්‍රේෂණ ලැබීම් ඉහළට

මේ වසරේ ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හරහා මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 702ක් බවට මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය පසුගිය වසරේ ජූලි මාසයේදී මෙරටට හිමි වූ  විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 626 හා සාපේක්ෂව 12.2%ක අඛණ්ඩ වර්ධනයක් බව සඳහන් වෙයි.

මෙම වටිනාකම 2018 ජනවාරි මාසයේ සිට වාර්තා වූ ඉහළම මාසික ප්‍රේෂණ ප්‍රමාණයවීමත් විශේෂත්වයකි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත්වීමන් පෙන්න්මු කළ බව මහ බැංකුව පවසා සිටියි.

මේ අතර, වසරේ ජනවාරි සිට ජූලි දක්වා මුල් මාස 7ක කාලය තුළදී රට වෙත හිමි වූ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 3,682ක් බව සඳහන්ව තිබේ. එය පසුගිය වසරේ එම කාලසීමාව තුළදී හිමි වූ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 3,895ට සාපේක්ෂව -5.5%ක අඩුවීමකි.

මේ වසරේ ජූනි මාසයේදී හිමිව තිබූ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 572ක් විය. එය පෙර වසරේ ජූනි මාසය හා සැසඳීමේදී 6.7% ක වැඩිවීමක් පෙන්නුම් කළ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් මැද පෙරදිග රටවල සේවය කරන සංක්‍රමණික සේවකයන්ට ලැබුණු උත්සව දීමනා හේතු වූ බව පැවසෙයි.

කෙසේ වෙතත් නව කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් පීඩාවට පත්ව සිටි මැදපෙරදිග රටවල මෙන්ම අනෙකුත් රටවල සේවය කරමින් සිටි මෙරට පිරිස් පසුගිය අගෝස්තු මාසයේදී කැපී පෙනෙන ලෙසින් ආපසු රැගෙන ඒමක්ද සිදුවිය.

Views: 59