මුදල් මණ්ඩල පුරප්පාඩු සඳහා නව තෝරා ගැනීම් හෙට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු සඳහා පවතින පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයා විසින් නම් කර එවා ඇති නාමයෝජනා හෙට දිනයේදී සාකච්ඡාවට ගැනීම වෙනුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කතානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව හෙට පස්වරු 6.00ට කතානායක නිල නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත.

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයෙන් දෙදෙනකු ලෙස පසුගිය රජය මගින් පත් කරන ලද නිහාල් ෆොන්සේකා මහතා සහ දුෂ්නි වීරකෝන් යන දෙපළ පසුගිය මැයි 31 වැනිදා හදිසියේම සිය ධුරවලින් ඉල්ලා අස්වීමත් සමග මෙම පුරප්පාඩුව ඇති විය.

හිටපු බැංකුකරුවෙකු වන නිහාල් ෆොන්සේකා මහතා කලක් කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. එසේම දුෂ්නි වීරකෝන් මහත්මිය ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි.

මහ බැංකු මුදල් මණ්ඩලයේ සම්පූර්ණ සාමාජිකයන් සංඛ්‍යාව පස් දෙනෙකි. එහි ප්‍රධානීත්වය මහ බැංකු අධිපතිවරයා (ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්) විසින් දරන අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා (එස්.ආර්.ආටිගල) ද එහි සාමාජිකයෙකි. ඔවුන්ට අමතරව ජනපතිවරයාගේ නිර්දේශය අනුව තවත් විධායක නොවන කමිටු සාමාජිකයන් තිදෙනෙකු මෙම මණ්ඩලයට පත් කෙරේ.

ඒ අතරින් නිහාල් ෆොන්සේකා මහතා 2016 වසරේදී ඒ සඳහා පත් කෙරුණු අතර, දුෂ්නි වීරකෝන් මහත්මිය 2019 දී පත් කෙරිණි. මෙම කමිටු සාමාජිකයන් පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කරන පත් කිරීම් වන අතර ධුර කාලය වසර හයකි. එම කාලයට පෙර ඔවුන් එම සාමාජිකත්වයෙන් ඉවත් කළ නොහැකි අතර, ඉල්ලා අස්වීම පමණක් සිදු කළ හැකිය.

අදාළ කමිටු සාමාජිකයන් දෙදෙනාගේ ඉල්ලා අස්වීම රජයේ ඉල්ලීමක් මත සිදුවූ බවට වාර්තා පළ වෙයි. එහිදී වත්මන් රජයට අවශ්‍ය පුද්ගලයන් දෙදෙනකු පත් කරගැනීම එහි අදහස වී තිබේ. දැනට මුදල් මණ්ඩලයේ සිටින තෙවැනි සාමාජිකයා වන්නේ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතාය. ඔහු වත්මන් රජයට හිතවාදී අයෙකි.

මුදල් මණ්ඩලය වෙත සිදු කරන මෙම නව පත්කිරීම් දෙක සඳහා මෙතෙක් කිසිවෙකුත් නම් වී නැත. එහෙත් ආචාර්ය කෙනත් ඩි සිල්වා සහ ජ්‍යෙෂ්ට ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය එස්.එස්. කොළඹගේ යන දෙපළගේ නම් මීට නම් කෙරෙනු ඇතැයි මාධ්‍ය වාර්තා තුළ සඳහන්ව තිබුණි.

හෙට දිනයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ද සහභාගි වීමට නියමිතව ඇතැයි එහි ලේකම් හා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි.

Views: 88