ජනශක්ති ඉන්ෂුවරන්ස් CEO ජූඩ් ප්‍රනාන්දු ඉල්ලා අස්වීමට යයි

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ජූඩ් ප්‍රනාන්දු මහතා ලබන අගෝස්තු 31 වැනිදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව සමාගම සඳහන් කරයි.

කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක් යවමින් සමාගම මේ කරුණු සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම ඉවත්වීම සඳහා හේතුව මෙතෙක් අනාවරණය වී නැත. මේ වන විට ජූඩ් ප්‍රනාන්දු මහතා සතුව සමාගමේ කොටස් 20,000 ක හිමිකාරීත්වයක් පවතින බව පමණක් සමාගම මෙම නිවේදනයේ සඳහන් කර සිටියි.

2018 වසරේ මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වීම් ලැබීය.

ඊට පෙර ඒ මහතා 2014 වසරේ සිටම ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරයෙකු සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබේ. එහිදී ඔහු සාමාන්‍ය සහ ජීවිත රක්ෂණ යන ව්‍යාපාර දෙක සම්බන්ධයෙන්ම පාලන කටයුතු හොබවා ඇත.

එසේම 2017 වසරේ සිට ඔහු ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්විය. එසේම 2018දී සමාගම සිය රක්ෂණ සේවා ජීවිත සහ සාමාන්‍ය ලෙස වෙන්වීමත් සමගම එම වසරේ පෙබරවාරි මාසයේ සිට ඔහු ජනශක්ති ජනරල් ඉන්ෂුවරන්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වූ අතර 2018 මැයි මාසයේ පළමුවැනිදා සිට ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්විය.

ජූඩ් ප්‍රනාන්දු මහතා සතුව මූල්‍ය, සැපයුම් දාම කළමනාකරණය, අලෙවි සහ අලෙවිකරණය, ජාත්‍යන්තර අලෙවිකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක වසර 26කට අධික අත්දැකීම් ඇත.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී වෙත එක් වීමට පෙරාතුව ඒ මහතා කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කර තිබේ. එසේම කාර්ගිල්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන සන්නාමවල අලෙවි සහ බෙදාහැරීම් විධායක අධ්‍යක්ෂවරයා ලෙසද ජූඩ් ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇත. 

Views: 307