මැයි මාසයේ උද්ධමනය 5.2%ක් දක්වා පහළට

⋆ ආහාර කාණ්ඩයෙහි – එළවළු, මාළු, පරිප්පු සහ පොල් තෙල් මිල ගණන්හි ඉහළ යෑමක්.
⋆ ආහාර නොවන කාණ්ඩයෙහි – මද්‍යසාර, දුම්කොළ, බුලත්, පුවත්පත් මිල පහළ යාමක්
.

මේ වසරේ අප්‍රේල් මාසයේ පැවැති 5.9% උද්ධමනය 2020 මැයි මාසයේදී සියයට 5.2% ක් දක්වා තවදුරටත් පහළ ගිය බවට මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. 2019 මැයි මාසයේ පැවැති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද. 2013=100) ලක්ෂමය වෙනස මගින් මෙම මතුපිට උද්ධමනය මනිනු ලබයි.

මේ අතර, 2020 අප්‍රේල් මාසයේදී 12.2%ක් වූ ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 මැයි මාසයේදී 11.1%ක් දක්වා පහළ ගොස් ඇත. එසේම ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනයද 2020 අප්‍රේල් මාසයේදී පැවැති 1.1% සිට 2020 මැයි මාසයේදී 0.8% දක්වා පහළ යාම සිදුව ඇතැයිද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“2020 මැයි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස 0.4%ක් ලෙස වාර්තා වූ අතර, ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම මේ සඳහා බලපාන ලදී. ඒ අනුව 2020 මැයි මාසයේදී ආහාර කාණ්ඩයෙහි, ප්‍රධාන වශයෙන්, එළවළු, මාළු, පරිප්පු සහ පොල් තෙල් මිල ගණන්හි ඉහළ යෑමක් දක්නට ලැබුණි.”

කෙසේ වෙතත් මෙම මාසය තුළදී ලොකු ලූණු සහ පොල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගිය බවද මහ බැංකුව පවසයි. එසේම 2020 මැයි මාසයේදී ආහාර නොවන කාණ්ඩයෙහි මද්‍යසාර පාන වර්ග හා දුම්කොළ (බුලත්) සහ විනෝදාත්මක හා සංස්කෘතික (පුවත්පත්) උප කාණ්ඩයන්හි අයිතමවල මිල පහළ ගොස් ඇත.

මීට අමතරව ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2020 අප්‍රේල් මාසයේදී පැවැති 3.2% සිට 2020 මැයි මාසයේදී 3.7% දක්වා ඉහළ ගොස් ඇත. එසේම වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 අප්‍රේල් මාසයේදී පැවැති 5.0% සිට මැයි මාසයේදී සියයට 4.8 දක්වා පහළ ගොස් ඇත.

එසේම වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2020 අප්‍රේල් මාසයේ පැවැති  5.1% සිට 2020 මැයි මාසයේදී 5.2% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

Visits: 57