ජෝන් කීල්ස් වෙත ජාත්‍යන්තර මූල්‍ය සමායතනයෙන් ඩො. මි. 175ක්

මෙරට සුප්‍රසිද්ධ සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) අතර එක්සත් ජනපද ඩොලර් මිලියන 175ක දිගු කාලීන මූල්‍ය එකඟතාවකට පිවිසි බව එම සමාගම සඳහන් කරයි.

ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම අද (2020 ජූනි 23දා) දිනයේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සහ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය අතර සිදු වුණු බව ජෝන් කීල්ස් සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා සිටියි. සමාගම පවසන අකාරයට මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය සමායතනය මගින් මෙරට තුළ සිදු කළ විශාලතම ආයෝජනය ලෙසද මෙය සැලකෙයි.

මෙම අරමුදල් උපයෝගී කර ගනිමින් සිය සුපිරි වෙළෙඳ සැල් ව්‍යාපාරය තවත් ව්‍යාප්ත කිරීම අරමුණ බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම පවසයි. එසේම මාලදිවයින තුළ සහ ශ්‍රී ලංකාව තුළ හෝටල් සඳහා දැනට සිදු කර ඇති ආයෝජන සඳහා මෙන්ම සිය සාංගමික ආයෝජන සඳහාද මෙම අරමුදල් යොදවන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම එකඟතාව හරහා ලබා ගන්නා ඩොලර් මිලියන 175ක මුදලක සඳහා වන වාර්ෂික පොළිය 4.21% කි. මෙම මුදල ආපසු ගෙවීම සඳහා වන කාලය වසර දහයක් වන අතර, එය 2030 ජූනි මාසයේදී කල් පිරේ. එසේම මේ මුදල් ආපසු ගෙවීම සඳහා වසර 4ක සහන කාලයක් හිමි වන අතර 2024 දෙසැම්බර් මාසයේ සිට ප්‍රාග්ධන ආපසුගෙවීම ක්‍රියාත්මක වන බවද සමාගම පවසයි.

“ජෝන් කීල්ස් සමූහයේ ඉදිරි ආයෝජනයන් සඳහා සිය ශේෂපත්‍රය වඩාත් ශක්තිමත්ව පවත්වා ගෙන යාම වෙනුවෙන් 2019 වසරේ අග සිටම විකල්ප අරමුදල් සම්බන්ධයෙන් විමසීම් සිදු කළා. ජාත්‍යන්තර මූල්‍ය සමායතනය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමගින් දිගුකාලයක් පුරා සිටින හවුල්කරුවෙක්. මේ පහසුකම මගින් සමූහයේ ආයෝජන වෙත අරමුදල් යෙදවීමේ නම්‍යශීලීත්වය සහ වේගවත්බව ඇති කරාවි. එසේම සමූහයේ ද්‍රවශීලතා මට්ටම සඳහාද මෙම අරමුදල් යම් අමතර සහයෝගයක් දක්වනවා.” යනුවෙන්ද සමාගම සඳහන් කරයි.

මේ අතර, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ජෝන් කීල්ස් හෝඩිංග්ස් සමූහයේ ව්‍යාපාර වෙත කෙටි කාලීන බලපෑමක් එල්ල කර ඇති බවත්, වර්තමානයේ දී සමූහය වඩාත් ධනාත්මක ගාමක බලයක් පෙන්නුම් කරමින් ඉදිරි කාලයද සිය ව්‍යාපාර සහ ආයෝජන සඳහා වඩාත් ධනාත්මක මැදි හා දිගුකාලීන දියුණුවක් ළගා කර ගැනීමටද කටයුතු කරන බව පවසයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය සමායතනය වැනි ජාත්‍යන්තරව පිළිගත් මූල්‍ය ආයතනයක් සමගින් සහයෝගිතාවක් ඇති කරගැනීමට හැකි වීම මෙවැනි කාලවකවානුවකදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය වෙත මෙන්ම රට පිළිබඳවද පවතින විශ්වාසය සම්බන්ධව ලබාදුන් සහතිකයක් බවට විශ්වාස කරන බවද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 391