කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙට වසයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙට වසයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගණුදෙනු කටයුතු හෙට දිනයේදී (16දා) සිදු නොවන බව නිවේදනයක් මගින් සඳහන් කර සිටියි. 

රජය විසින් හෙට දිනය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම මීට හේතුව බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. දැනට රට තුළ හඳුනාගෙන ඇති COVID-19 වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම වෙනුවෙන් රජය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මේ හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළද හෙට දිනය වෙළෙඳ පොළ නිවාඩුවක් ලෙස සලකා මෙලෙස ගනුදෙනු අත්හිටුවීමේ තීරණය ගත් බව ප්‍රකාශ කර සිටියි.

මේ අතර පසුගිය සතියේ දින තුනකදීම කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. ඊටද COVID-19 වෛරසයේ ව්‍යාප්තිය නිසා වෙළෙඳ පොළ කටයුතු කෙරෙහි ඇති වූ අඩු උනන්දුව ඊට හේතු වූ බව  පැවසෙයි.

ඒ අනුව පසුගිය මාර්තු 10 වැනිදා, 12 වැනිදා සහ 13 වැනිදා මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීම සිදු විය. වෙළෙඳ පොළ ආරම්භයේදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය ඊට පෙර දිනයට සාපේක්ෂව -5%කට වඩා අඩු අගයක් ගැනීම මෙම ගනුදෙනු අත්හිටුවීමට හේතු විය. මෙය කොටස් වෙළෙඳපොළ  පද්ධතියේ සිදුවන ස්වයංක්‍රීය බිඳ වැටීමක් නිසා සිදුවන්නක් බවද කොටස් වෙළෙඳ පොළ පවසා සිටියි.

මේ අතරම පසුගිය 13 දා එනම් සිකුරාදා දිනයෙන් අවසන් වූ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවලදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 144.82  කින් පහළ ගොස් ඒකක 4,874.73න් වශයෙන් වාර්තා විය. ඒ අනුව මෙය 2012 ජූලි 24 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ අඩුම කොටස් මිල අගය ලෙසත් සැලකෙන බව මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. 

එසේම එම දිනය අවසානයේදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 87.72කින් පහළ ගොස් ඒකක 2,205.73ක් ලෙස සටහන් විය. ඒ අනුව එම සතිය තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.3කි.

මේ තත්ත්වයත් සමගම හෙටින් ආරම්භ වන සතිය කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා වඩාත් අහිතකර තත්ත්වයක් උදා කරවීමේ අවස්ථාවක්ද මතුව තිබුණි. 

කෙසේ වෙතත් රජයේ නිවාඩුවත් හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ කටයුතු හෙට දිනයේදී සිදු නොවීම නිසා COVID-19 වෛරසයේ ව්‍යාප්තිය කොළඹ වෙළෙඳ පොළ කටයුතු කෙරෙහි ඇති වූ බලපෑම අනිද්දා දිනයේදී පැහැදිලිවම දැකගැනීමට හැකි වෙනු ඇතැයි කොටස් වෙළෙඳ පොළ තැරැව්කරුවෝ පවසති.

පසුගිය වසරේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එළැඹුණු 2019 අප්‍රේල් 22 වැනි සඳුදා දිනයේදීද මෙලෙසින්ම කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අත්හිටුවීමක් සිදු විය.

Views: 223