රජයේ නිවාඩුව නිසා සම්පත් බැංකුව ඩිජිටල් බැංකුකරණ ප්‍රවර්ධනයක

රජයේ නිවාඩුව නිසා සම්පත් බැංකුව ඩිජිටල් බැංකුකරණ ප්‍රවර්ධනයක

රජය විසින් බැංකු සහ වෙළෙද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අද 16 දිනය තුළ සිය සියලුම ශාඛාවන් සහ සුපිරි ශාඛාවන් වසා දමා ඇති බව සම්පත් බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

එහෙත් පාරිභෝගිකයන් වෙත බැංකුවේ ඩිජිටල් පහසුකම් හරහා සිය ගණුදෙනු අඛණ්ඩව සිදු කිරීමේ අවස්ථාව පවතින බවද සම්පත් බැංකුව අවධාරණය කර සිටියි.

මෙහිදී සම්පත් බැංකුව මේ දිනවල රටෙහි පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වයද යොදා ගනිමින් ජනතාව ඩිජිටල් බැංකුකරණයක් වෙත යොමු කරවීම සම්බන්ධයෙන් වන ප්‍රවර්ධන වැඩකටයුතුද මේ වනවිට සිදු කරමින් සිටියි.

“මේ දවස්වල බැංකුවට යන්නේ නැතුව, ගෙදර ඉදන් සම්පත් බැංකු ඩිජිටල් බැංකු පහසුකම් ඔස්සේ බැංකු කටයුතු සිදු කරන්න.” යනුවෙන් එම ප්‍රවර්ධන කටයුතු සිදු වෙයි.

ඒ අනුව සම්පත් බැංකුවේ Sampath Vishwa ඔන්ලයින් බැංකු පහසුකම ඔස්සේ බැංකු කටයුතු දැන් නිවසේ සිටම සිදු කරගත හැකි බව බැංකුව සඳහන් කරයි.

ඒ සඳහා www.sampathvishwa.com  වෙබි අඩවියට පිවිසිය හැකි බවත්, ඕනෑම වේලාවකදී විවෘත පාරිභෝගික සේවා අංක 0112 30 30 50 අමතා වැඩිවිස්තර ලබා ගත හැකි බවත් බැංකුව සඳහන් කරයි.

රට තුළ COVID-19 වෛරස තත්ත්වය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම අරමුණු කරගනිමින් රජය මෙම රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබේ. අවශ්‍ය වුවහොත් මෙම නිවාඩුව දිගු කෙරෙන බවද රජය සඳහන් කරයි.

මේ අතර පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැත්වුණු “2020 වසර ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනේදී අදහස් දැක්වූ මහ බැංකුවේ ජ්‍යෙෂ්ට නිලධාරීන් බැංකු කවුන්ටර භාවිතයෙන් තොරව ඩිජිටල් ක්‍රමවේද හරහා බැංකු සමගින් ගනුදෙනු කිරීමේ අවස්ථාව ජනතාව වෙත වැඩි වශයෙන් ලබා දිය යුතුව ඇතැයිද සඳහන් කර සිටියේය.

Visits: 353