ඇක්සස් ඉන්ජිනියරිං ඉදිකරන මන්නාරම සුළි විදුලි බලාගාරයේ වැඩ නිමාවීමට ආසන්නයිලු

මන්නාරම ප්‍රදේශයේ ඉදිකරන මෙගාවොට් 103.5 ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරට ළගාවී ඇතැයි එහි උපකොන්ත්‍රාත්කාර සමාගම වන ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය මගින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය 2019 වසරේදී ආරම්භ කෙරිණි. එහිදී මෙම සුළි විදුලි බලාගාරය  ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලොව සුප්‍රසිද්ධ සුළං ටර්බයින නිෂ්පාදන සමාගමක් වන ඩෙන්මාර්කයේ වෙස්ටාස් වින්ඩ් සිස්ටම්ස් සමාගමේ පරිපාලිත සමාගමක් වන Vestas Asia Pacific A/S සමාගම වෙත පිරිනැමුණි.

එහිදී Vestas Asia Pacific A/S සමාගම සමගින් එක්ව මෙම ව්‍යාපෘතියේ සිවිල් ඉංජිනේරු සහ ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරුණු පළමු මහාපරිමාණ සුළං විදුලි බලාගාරයේ සිවිල් ඉංජිනේරු හවුල්කරුවා බවට පත්වීමටත් ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගමට හැකියාව ලැබී තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ නවීනතම තාක්ෂණයට අයත් සුළං ටර්බයින 30ක් සවි කිරීම සිදු කෙරේ. මෙම සෑම එක් ටර්බයිනයක් හරහාම මෙගාවොට් 3.45ක් නිපදවීමට හැකියාව පවතින අතර සමස්ත විදුලි නිෂ්පාදනය මෙගාවොට් 103.5කි.

මෙම ව්‍යාපෘතිය යටතේ ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගමට පැවරුණු කටයුතු අතර ටර්බයින් සඳහා වන පාදම ඉදිකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම, මාර්ග පද්ධතිය, කේබල් ඇතිරීම, ඔප්ටිකල් ෆයිබර් කේබල් සැපයීම සහ සවි කිරීම ඇතුළුව සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් දායකත්වය ලබාදීම ඇතුළු මෙහෙයුම් රැසක්ම පැවති බව ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම පවසා සිටියි.

Visits: 510