ගෝලීය ජාලකරණ දැවැන්තයෙකු වන Cisco හි දේශීය හවුල්කරු හා අලෙවි නියෝජිත ලෙස බ්‍රෑන්ටෙල් පත් වෙයි

ජාලකරණ දෘඪාංග, මෘදුකාංග සහ සේවා සැපයීමේ ගෝලීය ප්‍රමුඛයා වන Cisco Networks හි හවුල්කරු හා ශ්‍රී ලංකාවේ බලයලත් දේශීය අලෙවි නියෝජිතයෙකු ලෙස පත් වූ බව බ්‍රෑන්ටෙල් සමාගම (Brantel) නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඔවුනොවුන්ට ම විශේෂිත වූ ජාලකරණ අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ගේ මාර්ගගත පැවැත්ම ගොඩනගා ගැනීමට උපකාර කිරීම හා ව්‍යාපාර ක්‍රියාවලීන් ස්වයංක්‍රීය කිරීම, Cisco හවුල්කරුවෙකු ලෙස බ්‍රෑන්ටෙල් හි මූලික කාර්යභාරය වනු ඇති බව සමාගම පවසයි.

“විශාල ව්‍යාපාර හා සසඳන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට එකිනෙකට අනන්‍ය වූ අවශ්‍යතා ඇති බව Cisco විසින් හඳුනාගෙන ඇත. එනිසා ම Cisco මගින් පරිමාණය කළ හැකි, ලාභදායී සහ කළමනාකරණය කිරීමට පහසු නෙට්වර්ක් විසඳුම් සපයයි. එමගින් මෙම අංශයේ සේවාදායකයින්ට තම ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය හා වියදම් තුලනය කර සහ ඔවුන්ගේ ආයෝජන සඳහා ලැබෙන වටිනාකම සහතික කරමින්, තම ව්‍යාපාරය කුඩා පරිමාණයෙන් ආරම්භ කර ක්‍රමයෙන් දියුණු වන විට ජාලය පුළුල් කිරීමේ හැකියාව ලබා දෙන බව,” බ්‍රෑන්ටෙල් අධ්‍යක්ෂ හා සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත වික්‍රමනායක මහතා පැවසීය.    “පසුගිය වසර 20 පුරාවට ව්‍යාපාර 2,500 කට අධික සංඛ්‍යාවකට තාක්ෂණය හා අගය එකතු කළ සේවාවන් ලබා දී ඇති සමාගමක් ලෙස බ්‍රෑන්ටෙල් මෙම කාර්භාරය ඉටු කිරීම සඳහා සුදුස්සා බවට පත් වේ.”

වික්‍රමනායක මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ Cisco කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ස්විචයන් සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සපුරාලීමට බ්‍රෑන්ටෙල් සන්නද්ධ වී සිටින බවයි. තවද, බ්‍රෑන්ටෙල් Corning තඹ හා ෆයිබර් ඔප්ටික්ස් සන්නිවේදන උපකරණ සඳහා බලයලත් බෙදාහරින්නා ද වේ.

Cisco රටවල් 100 කටත් වැඩි සංඛ්‍යාවක පැතිරී පවතින අතර රවුටර, ස්විචයන්, ජාලකරණ මෘදුකාංග, ආරක්ෂණ විසඳුම්, සහයෝගීතා මෙවලම්, Cloud තාක්ෂණික යටිතල පහසුකම් සහ IoT තාක්ෂණයන් සමඟින් ලොව පුරා සියළු පරිමාණවල ව්‍යාපාර සඳහා සේවා සපයයි. තවද, ලොව පුරා සම්බන්ධතා, සන්නිවේදනය සහ දත්ත හුවමාරුව පහසු කිරීම මගින් ඩිජිටල් පරිවර්තනය මෙහෙයවන අතර Cisco Network Academy හරහා සහතික ලබා දීම හා පුහුණු වැඩසටහන් ද පිරිනමයි.

නවීනතම සන්නිවේදන හා ව්‍යාපාරික විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශය සවිබල ගැන්වීම කෙරෙහි බ්‍රෑන්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම වැඩි වශයෙන් අවධානය යොමු කරයි. බ්‍රෑන්ටෙල් විසින් ශ්‍රී ලංකාවේ අලෙවි කරන ප්‍රමුඛතම ගෝලීය නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන අතරට තඹ සහ ෆයිබර් නෙට්වර්ක් කේබල්, පැසිව් නෙට්වර්ක් උපාංග, සුර්ය බල ඉන්වර්ටර්, සුර්ය බල පැනල, point – of – sale thermal ප්‍රින්ටර් සහ ඩිජිටල් ස්මාර්ට් බෝර්ඩ් විසඳුම් අයත් වේ. මීට අමතරව, E-tel කුඩා පරිගණක, ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතන, ටැබ්ලට් පරිගණක සහ ජංගම දුරකථන සහ Corning නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාව තුළ ජාතික බෙදාහරින්නා ලෙසින්ද බ්‍රෑන්ටෙල් කටයුතු කරයි.

Visits: 0