ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක අධ්‍යයන මණ්ඩලයේ උපදේශක ධුරයකට ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරේ

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත එක්සත් ජනපද රාජ තාන්ත්‍රික නිලධාරියෙකු, අධ්‍යාපනඥයෙකු වන ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස් මහතා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක අධ්‍යයන මණ්ඩලයේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ජනපති ජෝ බයිඩන් පසුගියදා පියවර ගත් බව වාර්තා වෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරා ඇති ඒ මහතා එක්සත් ජනපදයේ හාර්වර්ඩ් විශ්විවද්‍යාලයේ, හාවර්ඩ් කෙනඩි රජයේ පාසැලේ උසස් අධ්‍යාපනය හදාරා තිබේ. ඒ අනුව ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස් මහතා විසින් අධ්‍යාපනය සහ රාජ්‍ය සේවය සඳහා ලබා දෙන දායකත්වය පිළිගැනීමක් ලෙස මෙම නව පත් කිරිම සිදු කර තිබේ.

ගත වූ කාලසීමාවේදී ආචාර්ය මෙන්ඩිස් මහතා එක්සත් ජනපදය, ආසියාව සහ යුරෝපය ඇතුළු මහාද්වීප රැසකම රාජ්‍යතාන්ත්‍රික මෙන්ම විශ්වවිද්‍යාල රැසකම බාහිර මහාචාර්යවරයෙකු ලෙසද කටයුතුවල නිරත වී තිබේ.

ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස එක්සත් ජනපද ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ආයතනයක උපදේශක ධුරයක් සඳහා පත් කෙරුණු පළමු අවස්ථාව ලෙසත් මෙය සැලකෙයි.

එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක අධ්‍යයන මණ්ඩලයේ සභාපති ධුරය එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා විසින් හොබවන අතර, අනෙකුත් සාමාජිකයන් 14 දෙනා අතර ආරක්ෂක, අධ්‍යාපන, බලශක්ති, අභ්‍යන්තර ආරක්ෂාව, රාජ්‍ය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඇතුළුව කැබිනට් ලේකම්වරුන් අට දෙනෙකු සහ ගෝලීයව ප්‍රසිද්ධියට පත්ව සිටින කීර්තිමත් ඇමෙරිකානු පුරවැසියන් හය දෙනෙකුද සිටියි.

Visits: 0