“ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ලංකා හොස්පිටල්ස් මිලදී ගන්න විදේශ පාර්ශ්වයන් හරහා මුදල් ගේනවා” – අශෝක් පතිරගේ

රජයට අයත් ව්‍යවසායන් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා හොස්පිටල්ස් යන සමාගම් හි රජය සතු කොටස් මිලදී ගැනීම සඳහා විදේශීය පාර්ශ්වයන් (external offshore counterparties) හරහා මුදල් ගෙන එන බව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

පසුගියදා එළිදැක්වුණු සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි 2023 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන වර්ෂය සඳහා වන අතරමැදි මූල්‍ය ප්‍රකාශනය වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් සභාපතිවරයා මේ බව පවසා තිබේ.

ඒ අනුව දැනටමත් ඉහත සඳහන් කළ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායන්හි රජය සතු කොටස් මිලදී ගැනීම සඳහා තම සමාගම් දැනටමත් ලංසු ඉදිරිපත් කර ඇතැයිද ඔහු පවසා සිටියි.

එහිදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් සමාගම මිලදී ගැනීම සඳහා සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමත්, ලංකා හොස්පිටල් පීඑල්සී මිලදී ගැනීම සඳහා ආසිරි සමූහයත් ඉදිරිපත්ව තිබෙන බව ඔහු මෙහිදී අනාවරණය කර තිබේ.

ඒ අනුව මෙම කොටස් මිලදී ගැනීම සඳහා අවස්ථාවක් ලැබුණහොත් විදේශීය පාර්ශ්වයන් හරහා මුදල් ලබා ගනිමින් එම ගනුදෙනුව සිදු කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවත් අශෝක් පතිරගේ මහතා මෙහිදී පවසා ඇත.

එසේම මෙම අත්පත් කරගැනීම අවසන් කිරීම වඩාත් විනිවිදපෙනෙන සුළු, තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමයකින් සිදු කිරීමටත් බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් මෙම විදේශීය පාර්ශ්වයන් මොනවාද යන්න සභාපතිවරයා විසින් මෙහිදී අනාවරණය කර නැත.

මේ අතර සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය දැනටමත් කොළඹ වරාය නගරය තුළ ඇදන් 500කින් සමන්විත නවීනතම රෝහලක් ඉදිකිරීම සඳහා වන 99 අවුරුදු කල්බදු එකඟතාවකට පැමිණ සිටිනබවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියි.

මෙහිදී ඇමෙරිකා එක්සත් ජනපදයේ Mayo Clinic ආයතනය සමගින් එම රෝහල ඉදිකිරීමට කටයුතු කෙරෙන අතර මෙය කලාපීය සෞඛ්‍ය සංචාරක වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් සිදු කරන බවත් ඔහු පවසයි. මේ අතර අදාළ රෝහල් ව්‍යාපෘතිය වසර 25ක බඳු සහනයක් හිමි වන බවත්, එයින් පසුව ඉදිරි වසර 10ක් සඳහා 50%ක අඩු බදු අනුපාතයක්  ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වන බවත් පැවසෙයි.

Views: 0