ණය පැහැර හරින්නන් සුළු පිරිසකගේ ඉල්ලීමට පරාටේ ක්‍රියාවලිය අත්හිටුවීම නුසුදුසුයි – ශ්‍රී ලංකා බැංකු සංගමය

සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන, ණය පැහැර හරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම අත්හිටුවමින් ආණ්ඩුව ගත් ඒකපාර්ශවීය තීරණය මෙරට බැංකු ක්ෂේත්‍රයට විශාල සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) බලපත්‍රලාභී රාජ්‍ය බැංකු, ලැයිස්තුගත පෞද්ගලික බැංකු සහ ජාත්‍යන්තර බැංකුවල ශාඛා කාර්යාල ආදී සියලුම බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) පවසන්නේ, ණය අයකර ගැනීමේ නීති මැඬ පැවැත්වීම සඳහා රජයේ මැදිහත් වීම අනතුරු ඇඟවීමක් වන බවයි.

මේ පිළිබඳව බැංකු සමඟ කිසිඳු සාකච්ඡාවක් සිදුකර නොමැති බව පෙන්වා දෙන එම සංගමය රජයේ මෙම තීරණය හේතුවෙන් සියලුම ව්‍යාපාරිකයන්ට ණය ලබා ගැනීමේ පිරිවැය වැඩි වනු ඇති බව පැවසීය.

එම සංගමය තවදුරටත් අවධාරණය කළේ පරාටේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම මගින් ණය පැහැර හැරි පුද්ගලයින්ගේ උකසට තැබූ වත්කම් සුරැකීමට නොහැකි බවත්, බැංකු විසින් අධිකරණය හරහා උකස් වත්කම් සම්බන්ධ නෛතික ක්‍රියාමාර්ග පෙර සේම සිදු කරන බවත් ය.

පරාටේ ක්‍රමය මෙම ක්‍රියාවලියේ ප්‍රමාද වීම් නිසා ඇතිවන බලපෑම් අවම කරන නමුත්, ණය අයකර ගැනීම සඳහා බැංකුවලට ඇති විකල්ප ක්‍රම අතරින් එය එකක් පමණක් වන බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව හරහා පවතින නීති සංශෝධනය කරන තුරු, බැංකු විසින් සුදුසු අවස්ථාවන්හි දී, අධිකරණයට යාමට පෙර සිදුකළ හැකි අවසාන විකල්පය ලෙස, පරාටේ ප්‍රතිකර්මය භාවිතා කරනු ඇතැයි ද සංගමය ප්‍රකාශ කළේය. මෙම ක්‍රියාවලියේ දී එක් එක් ණය පැහැර හැරීමට අදාළ පැමිණිල්ල එම බැංකුවල අධ්‍යක්ෂක මණ්ඩල වෙත ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය දැන්වීම් පළ කිරීම අත්‍යවශ්‍ය වේ.

එම නිසා යම් බැංකු නිලධාරියෙකුගේ අභිමතය පරිදි පරාටේ නීතිය ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාපටිපාටියක් නොවන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පෙන්වා දී සිටියි.

Views: 0