The Body Shop බංකොලොත් වෙයි – ඇමෙරිකාවේ සහ කැනඩාවේ අලෙවිසැල් වසා දැමේ

ලොව සුප්‍රසිද්ධ ඉහළ මට්ටමේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි සමාගමක් වන The Body Shop සමාගම එක්සත් ජනපදයේ සහ කැනඩාවේ සිය අලෙවි සැල් වසා දැමීමට තීරණය කර ඇතැයි පවසයි. එම සමාගම බංකොලොත්වීම මේ සඳහා හේතුව වී තිබේ.

ඒ අනුව පසුගිය මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වූ සිය අලෙවිසැල් සියල්ල වසා දැමීමට තීරණය කළ බව සමාගම පවසයි. එසේම කැනඩාවේ පිහිටි සිය අලෙවිසැල් 105 අතරින් 33ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමටත් තීරණය කෙරී තිබේ.

ආසන්න වසර කිහිපයේදී පැවැති ඉහළ උද්ධමනය නිසා මෙම අලෙවිසැල්හි සාමාන්‍ය වෙළෙඳාම වෙත එල්ල වූ බලපෑම මෙලෙස බංකොලොත්වීමට මූලිකම හේතුව ලෙස හඳුනාගෙන තිබේ. මෙම Body Shop අලෙවි සැල් දැවැන්ත සාප්පු සංකීර්ණ තුළ ක්‍රියාත්මක වූ අතර, උද්ධමනය ඉහළ යාම නිසා අර්බුදයට ලක්වූ මැද පන්තියේ ජනතාව ඒවා වෙත පැමිණීම සීමා වීම අලෙවිය අඩුවීමට හේතුව වී ඇත.

1976 වසරේදී ආරම්භ කෙරුණු මෙම Body Shop අලෙවි සැල් ජාලය මගින් ස්වාභාවික, තිරසාර, සදාචාර සම්පන්න සහ සතුන් යොදා ගෙන සිදු කරන පරීක්ෂණවලින් තොර වූ නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබුණි. එහි නිර්මාතෘවරිය වූයේ එක්සත් රාජධානියේ මානව හිමිකම් සහ පරිසරවේදිනියක වූ අනිටා රොඩික්ය.

2006 වසරේදී මෙම සමාගම ලොව ප්‍රමුඛතම රූපලාවන්‍ය දැවැන්තයෙකු වන L’Oreal සමාගම මගින් ඩොලර් බිලියන ගණනකට මිලදී ගත් අතර, 2017 වසරේදී එය බ්‍රසීලියානු සමාගමක් වන Natura වෙතින් ඩොලර් බිලියන ගණනකට මිලදී ගත්තේය. එහෙත් පසුගිය වසරේ අවසන් භාගයේදී The Body Shop සමාගම Aurelius නම් වත්කම් කළමනාකරණ සමූහයකට ඩොලර් මිලියන 266කට අලෙවි කෙරිණි.

2023 වසර වන විට The Body Shop තුව ලොව රටවල් 80කට වැඩි සංඛ්‍යාව අලෙවි සැල් 2500කට වැඩි සංඛ්‍යාවක් පැවතුණි. එසේම වෙළෙඳ පොළ 60කට වැඩි සංඛ්‍යාවකදී අන්තර්ජාලය හරහා ද නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාව ලබාදී තිබුණි.

Views: 0