GSMA සභාපති සම්මානය ආචාර්ය හාන්ස් විජයසූරියට

මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසිආටා හි හිටපු සමූහ ප්‍රධාන විධායක නිලධාරියා වූ ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පසුගියදා ස්පාඤ්ඤයේ බාසිලෝනා හිදී පැවති මොබයිල් ලෝක සමුළුවෙහිදී GSMA (GSM Association) සභාපති සම්මානයෙන් පිදුම් ලබා ඇතැයි පවසයි. මෙය එම සමුළුවෙහි වටිනාම සම්මානය ලෙසින්ද සැලකෙයි.

අද වනවිට විජේසූරිය මහතා ඩයලොග් ආසිආටාහි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි.

ලොව මොබයිල් සන්නිවේදන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශිෂ්ට දායකත්වයක් දක්වන පුද්ගලයින් සහ ආයතන අගයමින් GSMA සභාපති සම්මානය පිරිනැමෙන අතර, ගෝලීය මොබයිල් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා දක්වන කැපී පෙනෙන දායකත්වය අගයමින් ආචාර්ය හාන්ස් විජයසූරිය වෙත එම සම්මානය ප්‍රදානය  කෙරී තිබේ.

ආසියානු කලාපය පුරා විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් මිලියන 170කට අධික ග්‍රාහක පිරිසකට සේවාව සලසන විශාලතම විදුලි සංදේශ සමාගම් සමූහයක් වන ආසිආටා සමූහය නියෝජනය කරමින් ආචාර්ය හාන්ස් විජයසූරිය, ගෝලීය මොබයිල් ක්ෂේත්‍රයේ නියාමන මණ්ඩලය ලෙසින් සැලකෙන GSMA (Global System for Mobile Communications) හි අධ්‍යක්ෂ මණ්ඩලයෙහිද කටයුතු කරයි.

ආසිආටා සමූහයෙහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් මැලේසියාව, ඉන්දුනීසියාව, කාම්බෝජය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පුරාම ඩිජිටල් විදුලි සංදේශ සම්බන්ධ මෙහෙයුම් කටයුතු ඔහු විසින් අධීක්ෂණය කරනු ලබයි.

එපමණක් නොව, ආසිආටා සමූහයේ ව්‍යවසාය සහ ජාත්‍යන්තර ව්‍යාපාර මෙන්ම, එහි ජාත්‍යන්තර මෘදුකාංගය සම්බන්ධ කටයුතු හා ඩිජිටල් පරිවර්තන ඒකකය වන ආසිආටා ඩිජිටල් ලැබ් (ADL) ද, ආචාර්ය හාන්ස් විජයසූරියගේ කීර්තිමත් වෘත්තීය විෂය පථයට ඇතුළත්ය.

ඩයලොග් සමාගමෙහි සමූහ ප්‍රධාන විධායක ලෙසින් ආචාර්ය හාන්ස් විජයසූරිය 1997 වසරේ සිට 2016 වසර දක්වා කීර්තිමත් සේවා කාලයක් සටහන් කළ කාලය, ඩයලොග් සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කළ කාල පරිච්ඡේදයකි.

එම කාලය තුළ ක්ෂේත්‍රයට පිවිසි හතරවැනි සමාගම ලෙසින් මෙරට මොබයිල් ක්ෂේත්‍රයට සිය සම්ප්‍රාප්තිය සටහන් කිරිමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ සුවිශාලතම විදුලි සංදේශ සන්නිවේදන සේවා සම්පාදකයා බවට පත් වීමට ඩයලොග් වෙත හැකි විණි.

එම කාලය ඇතුළත ආසියාවේ ප්‍රමුඛතම Quad Play හා ඩිජිටල් සේවාවන් සපයන සමාගමක් බවට පත්වීමටද ඩයලොග් වෙත හැකියාව ලැබුණු අතර, මූල්‍ය තාක්ෂණ සේවා සහ ඩිජිටල් සෞඛ්‍ය අංශ ආදී ක්ෂේත්‍රයන්හිද සමාගම සිය ස්ථාවරත්වය තහවුරු කරගනු ලැබිණි. GSM Asia Pacific, හි හිටපු සභාපතිවරයකුද වන ආචාර්ය හාන්ස් විජයසූරියගේ සේවා කාලය අතරතුර  එනම්, 2016 වසරේදී GSMA විසින්, Asia Mobile Awards සම්මාන උළෙලේ ඉහළම සම්මානයට ඔහු පාත්‍ර කරන ලදී. ඒ, ආචාර්ය හාන්ස් විජයසූරිය විසින් ‘ආසියානු මොබයිල් ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන ලද විශිෂ්ට දායකත්වය’ උදෙසා ය. එපමණක් නොව, මෙරට ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව, 2008 වසරේ දී “වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙසින්ද හාන්ස් විජේසූරිය මහතා නම් කළේය.

Visits: 0