JKH හි තනි වැඩිම කොටස් හිමිකම HWIC Asia Fund වෙත – හැරීගේ Melstacorp PLC දෙවැනි තැනට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සතු සිය කොටස් හිමිකාරීත්වය 13.1%ක් දක්වා ඉහළ නංවා ගැනීමට පසුගියදා සමත් වූ බව HWIC Asia Fund ආයෝජන අරමුදල පවසයි.

මූල්‍ය සහ තවත් ක්ෂේත්‍ර රැසකම ආයෝජන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පෞද්ගලික අරමුදලක් ලෙස මෙම HWIC Asia Fund ආයෝජන අරමුදල සැලකෙයි.

එම අවස්ථාව වනවිටත් එම අරමුදල සතුව ජෝන් කීල්ස් හෝලඩිංග්ස් පීඑල්සීහි සමස්ත කොටස් අතරින් කොටස් 119,200,760ක හිමිකාරීත්වයක් පැවති අතර, එය 8..6%ක ප්‍රතිශතයක් ගෙන තිබුණි.

මෙම කොටස් ප්‍රමාණයත් සමගින්ම HWIC Asia Fund ආයෝජන අරමුදල ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි තනි තෙවැනි විශාලතම කොටස් හිමිකරුවාද විය.

මේ අතර පසුගිය පෙබරවාරි 07 වැනිදා එම සමාගම මගින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි තවත් කොටස් 61,904,939ක් මිලදී ගැනීමට පියවර ගෙන තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 4.5%කි.

මෙහිදී එම සමාගම අදාළ කොටස් මිලදී ගෙන ඇත්තේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි හත්වැනියට විශාලතම කොටස් හිමිකරුවා වූ Citigroup Global Markets Limited Agency Trading Prop Securities A/C සමාගමෙනි.

ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම HWIC Asia Fund ආයෝජන අරමුදල සතු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් හිමිකාරීත්වය කොටස් 181,105,699ක් එනම් 13.1%ක් දක්වා ඉහළ යාම සිදුව ඇත.

2023 දෙසැම්බර් 31 වැනිදා වනවිට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් තනි වැඩිම කොටස් හිමිකමක් එනම් කොටස් 128,917‍,111ක් (9.3%ක්) පැවතියේ තවත් ලැයිස්තුගත සමාගමක් වන Melstacorp PLC සමාගම වෙතයි. එය මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතාට අයත් සමාගමකි.

ඒ අනුව HWIC Asia Fund ආයෝජන අරමුදලේ මෙම ගනුදෙනුවත් සමගින්ම එම සමාගම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි තනි වැඩිම කොටස් හිමිකාරීත්වය සහිත සමාගම බවට පත්ව තිබේ.

Views: 0