කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී Mega Pay (Pvt) Ltd. හි 20%ක කොටසක් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, මෙරට තුළ ක්‍රියාත්මක ෆින්ටෙක් (Fintech) සමාගමක් වන Mega Pay (Pvt) Ltd. සමාගමෙහි 19.99%ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගත් බව පවසයි.

පසුගිය ඔක්තෝබර් 10 වැනිදා මෙම මිලදී ගැනීම සිදුව ඇති අතර, එම සමාගම මෙරට තුළ Pay & Go නාමය යටතේ ගෙවීම් වේදිකාවක් (Paying Platform) ලෙස සිය මෙහෙයුම් සිදු කරයි.

මෙහිදී අදාළ කොටස් ප්‍රතිශතය රුපියල් මිලියන 180ක (180,000,000ක) මුදලකට මිලදී ගැනීමට සමාගම් දෙකම අනෝන්‍ය එකඟතාවකට පත්ව ඇති අතර, එහිදී මූලික ගෙවීමක් ලෙස රුපියල් මිලියන 27ක මුදලක් ගෙවා Mega Pay (Pvt) Ltd සමාගමෙහි 2.99985%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගත් බවත් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

එසේම ඉතිරි කොටස් ප්‍රමාණය අත්පත් කරගැනීම එකඟාවකට පත්ව තිබෙන ගෙවීමේ සැලසුමකට අනුව සිදු කෙරෙනු ඇති බවත්, අදාළ එකඟතාවට අනුව මාස 18ක් ඇතුළතදී මෙම මිලදී ගැනීම අවසන් කරන බවත් එම සමාගම සඳහන් කරයි.

ෆින්ටෙක් සමාගමක් ලෙස 2015 වසරේදී ආරම්භ කෙරුණු මෙම Mega Pay (Pvt) Ltd සමාගම සිය Pay & Go සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ විශාලතම ස්වයංසේවා ටර්මිනල් ජාලය ක්‍රියාත්මක කරයි. එම සේවාව ස්ථාපිත කර ඇති Kiosk යන්ත්‍ර සහ ජංගම දුරකතන ඇප් වැඩසටහන හරහා විවිධ උපයෝගිතා බිල්පත් මෙන්ම බැංකු, රක්ෂණ ඇතුළු සේවාවන් සඳහා වාරික ගෙවීම සිදු කළ හැකිය.

Pay & Go සඳහන් කරන ආකාරයට අද වනවිට මෙරට තුළ මිලියන 2කට අධික සක්‍රිය පාරිභෝගිකයන් පිරිසක් ඔවුන් හා සම්බන්ධව සිටින අතර, සමාගම් 70කට අධික සංඛ්‍යාව හවුල්කාරීත්වය දක්වයි. ඒ අනුව අද වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගෙවීම් වේදිකාවක් ලෙසද එය ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි.

Visits: 235