කස්තුරි චෙල්ලරාජා හේමාස් හෝල්ඩිංග්ස් ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත්විමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි (HHL.N0000) සමූහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව පවසයි.

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

ඒ අනුව 2024 මාර්තු 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඇය එම ධුරයෙන් ඉවත්වීමට නියමිත බව ඇය සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

ඇය වෙත හිමිව තිබෙන ගෝලීය සමාගමක ධුරයක් භාරගැනීමේ අපේක්ෂාවෙන් ඇය මෙලෙස එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් ඇගේ මෙම ඉවත්වීමට පෙරාතුව ඇය තවදුරටත් හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ධුරය දරනු ඇති බවත්, එහිදී ඇය විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරනු ඇති බවත් සමාගම පවසයි.

ශ්‍රී ලංකාවේ කාන්තා වෘත්තිකයන් අතර මුල් තැනක සිටින කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය 2020 වසරේ ඔක්තෝබර් 01 වැනිදා  හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි සමූහ ප්‍රදාන විධායක නිලධාරිනිය / කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස පත්වීම් ලැබුවාය.

ඒ අනුව මෙරට තුළ ලැයිස්තුගත සමාගමක සමූහ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා තේරී පත් වූ පළමු කාන්තාව ලෙසින්ද ඇය ඉතිහාසයට එක්විය.

Visits: 339