මහ බැංකුවෙහි ප්‍රතිපත්ති පොළී අනුපාත 1%කින් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාත තවදුරටත් පහත හෙළීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ දිනයේදී රැස්වුණු මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ පළමු ප්‍රතිපත්ති විවරණ හමුවේදී ගනුලැබූ එකඟතාවකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පොළී අනුපාතය මෙතෙක් පැවැති 11%ක මට්ටමේ සිට 10%ක් දක්වාත්, නිත්‍ය ණය පහසුකම් පොළී අනුපාතය 12% සිට 11%ක් දක්වාත් පදනම් අංක 100කින් එනම් 1%කින් පහත හෙළීමට කටයුතු කරන බව මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම වර්තමානයේ සහ අනාගතයේදී බලාපොරොත්තු වන සංවර්ධනයන් පිළිබඳව විශ්ලේෂණය කරමින් මෙ තීරණය ගත් බව මහ බැංකුව පවසයි. විහේෂයෙන්ම අඩු උද්ධමනය සහ දේශීය ආර්ථිකයේ උද්ධමන අපේක්ෂාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.

ඒ අනුව මැදිකාලයක් සඳහා උද්ධමනය 5%ක ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමේ අරමුණක් පවතින බවත්, ඒ හරහා ආර්ථිකයට එහි වර්ධනය වෙත ළගාවිමට අවස්ථාව ලබාදීමක් සිදුවන බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

මේ අතර මහ බැංකුව විසින් අවස්ථා කිහිපයකදීම සිය ප්‍රතිපත්ති පොළී අනුපාතක පහත හෙළමින් සිය දැඩි මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් ලබාදී ඇති සහනය ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසද මහ බැංකුව සියලුම මූල්‍ය අංශයේ ආයතන වෙත දැනුම් දෙන බවත් මෙහිදී සඳහන් කර සිටියි.

ඒ හරහා ආර්ථිකය යළිත් නගා සිටුවීම සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් මහ බැංකුව බැංකු සහ මූල්‍ය ආයතන ඇතුළු මෙම ආයතනවලට දැනුම්දී සිටියි.

Visits: 118