CBL මන්චි පෙර පාසල් දරුවන් සඳහා ‘සවිසර’ නමින් නොමිලේ බිස්කට් ලබා දීමේ ව්‍යාපෘතියක් අරඹයි

CBL මන්චි, මෙවර ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකාවේ තෝරාගත් පෙර පාසල් දරුවන් සඳහා ඉහළ පෝෂණ ගුණයෙන් යුත් සිය නවතම නිෂ්පාදනය වන ‘ මන්චි සවිසර (සවිමත් විශිෂ්ටයින් සපිරි රටකට) ‘ බිස්කට් අතිරේක ආහාර වේලක් ලෙස නොමිලේ ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව සිටී.

CBL මන්චි හි තවත් එක් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය, 2023 ඔක්තෝම්බර් 1 වැනිදාට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව, අතිගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ළමා දින සැමරුම් වැඩසටහනේදී සංකේතාත්මකව හඳුන්වාදෙනු ලැබීය.

එහිදී මන්චි සවිසර බිස්කට් නිෂ්පාදනය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ ගරු අමාත්‍ය ගීතා කුමාරසිංහ මැතිනිය හට CBL මන්චි ආයතනයේ ගරු සභාපති රම්‍ය වික්‍රමසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

මෙම ව්‍යාපෘතිය පෙර පාසල් දරුවන් සඳහා අධියර කිහිපයක් යටතේ ගාල්ල, මොණරාගල, අම්පාර, මුලතිවු හා නුවරඑලිය යන තෝරාගත් දිස්ත්‍රික්ක වලදී ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දැයේ දූ දරුවන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවයට රුකුලක් වීම අරමුණු කර ගෙන ගොඩනැංවූ මෙම නිෂ්පාදනයේ 15.2% ක් ප්‍රෝටීන් අඩංගු වේ. ඊට අමතරව මෙහි විටමින් A, විටමින් D සහ ඛනිජ ලවන (යකඩ සහ සින්ක්) යන පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වන අතර එය දරුවන් සඳහා අවශ්‍ය දෛනික විටමින් හා ඛනිජ ලවන අවශ්‍යතාවයෙන් 33% ක ප්‍රතිශතයක් සපුරාලනු ලබයි.

මෙම ගුණාත්මක තත්ත්වයන් හා ඉහළම ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කර ඇති මෙම ‘ මන්චි සවිසර ‘ බිස්කට් නිෂ්පාදනය සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආහාර පාලන අධිකාරියේ අනුමැතිය හිමි වීමද විශේෂත්වයකි.

1968 වසරේ දී කෙයාර් සංවිධානය සමග එක්ව ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් සඳහා ‘ඇදිහස’ නමින් ප්‍රෝටීන් අඩංගු බිස්කට් නොමිලේ ලබාදීමේ සමාජ මෙහෙවර පෙරදැරි කර ගනිමින් බිස්කට් නිෂ්පාදනය ආරම්භ කළ CBL මන්චි ආයතනය, එදා සිට අද දක්වා දේශීය වෙළඳපොළ මෙන්ම විදේශ වෙළඳපොළ ද ජයගෙන ඇත්තේ අද වන විට ලෝකයේ රටවල් 65 කට අධික සංඛ්‍යාවකට තම නිෂ්පාදන අපනයනය කරමින් මෙරට ජාතික ආර්ථිකයට ද විශාල සවියක් ලබා දෙමිනි.

Views: 31