මුදල් විශුද්ධිකරණය පිළිබඳ ‘අළු ලේඛනගත‘ නොවීමට ශ්‍රී ලංකාව ගතයුතු ප්‍රමුඛතම ක්‍රියාකාරකම් 10ක් නම් කෙරේ

මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ දුර්වලතා සහිත රටක් ලෙස නම් කරමින් යළිත් වරක් ‘අළුලේඛනගත‘නොවීමට නම් ප්‍රමුඛත්වය ලබාදිය යුතු ක්‍රියාකාරකම් 10ක් වන බව මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම සඳහන් කරයි.

විශේෂයෙන්ම එවැනි අළු ලේඛනගත කිරීමක් හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර ආර්ථික ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගැනීම අතිශය වැදගත් බවත් එම කණ්ඩායම පෙන්වා දෙයි.

මෙම කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් එහිදී ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූල ඝාතන අවි ව්‍යාප්තිය සඳහා වන මූල්‍යනය වැළැක්වීමසඳහා වන වැඩමුළුවක්ද පවත්වා තිබේ.

ඒඅනුව 1. සඵලතාව කෙරෙහි අවදානය යොමු කිරීම, 2. වැඩිදියුණු කළ අධීක්ෂණය, 3.කාලෝචිත නීති සම්පාදනය, 4. සම්පත් වෙන් කිරීම, 5. අන්තර් නිජයෝජිතායතන සම්බන්ධීකරණය, 6. නඩු පැවරීම, 7. නීතිය බලාත්මක කිරීම, 8. අධිකරණය, 9. පුද්ගලික අංශයේ සහභාගිත්වය සහ 10. ජාත්‍යන්තර සහයෝගිතාව යනාදිය එම කරුණු වෙයි.

“ඒ අනුව මෙම ප්‍රමුඛතා ක්‍රියාමාර්ගවලට කාර්යක්ෂමව අනුගත වීම මගින් ශ්‍රී ලංකාවට සිය මීළඟ අනෝන්‍ය ඇගයීමේදී හිතකර ප්‍රතිඵලයක් ලබාගත හැකි වනු ඇත. මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් අළුලේඛනගත කිරීම හා සම්බන්ධ අහිතකර ආර්ථික හා මූල්‍ය ප්‍රතිවිපාක වළක්වාගත හැකි වනු ඇත.” මෙම කණ්ඩායම පවසයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ තෙවත අනෝන්‍ය ඇගයිම තවත් සති 25කින් එනම් 2025 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව මූල්‍ය කාර්ය සාධන බලකායේ නිර්දේශ 40ක් සඳහා තාක්ෂණික අනුකූලතාවක් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයටමුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව, මූල්‍ය කාර්ය සාධක බලකායේ අපේක්ෂිත ප්‍රතිඵල 11 ලබා දෙන බවට සහතික වීම අත්‍යවශ්‍ය වෙයි.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමට අනුව රට තුළ මුල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදියට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ කටයුතුවල සක්‍රීයව නියැලී සිටින පාර්ශ්වකරුවෝ 24ක් සිටින බව සඳහන් වෙයි. මෙහිදී ඒ ආශ්‍රිත සම්බන්ධීකරණ කේන්ද්‍රස්තානය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කරයි.

“මෙරට තෙවන අන්‍යෝන්‍ය ඇගයීමට මුහුණ දීම සඳහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුවේ ඇති දුර්වලතා අප්‍රමාදව ආමන්ත්‍රණය කිරීම සඳහා පරිශුවකරුවන් 24 දෙනා විසින්ම ඔවුන්ගේ ධාරිතාව තුළ හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇති බව සහතික කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.” යනුවෙන්ද එම කණ්ඩායම මෙහිදී සඳහන් කර සිටියි.

ශ්‍රීලංකාව මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපිය කණ්ඩායමේ ආරම්භක සාමාජික රටවල් 13න් එකක් ලෙස 1997 වසරේ සිට කටයුතු කරයි.

2011 සහ 2017 වසරවලදී මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුවේ උපායමාර්ගික දුර්වලතා සහිත රටක් ලෙස දෙවරක් ‘අළුලේඛනගත‘ කර තිබේ.

2017වසරේදී අළුලේඛනගත කිරීමත් සමග, මෙම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙන් යුරෝපා සංගමයද ශ්‍රී ලංකාව කළුලේඛනගත කරන ලදී.

කෙසේ වෙතත් 2019 වසරේදී නෛතික සහ ආයතනික රාමුවේ ඇති දුර්වලතා මඟහරවා ගැනිමට ශ්‍රී ලංකාව කටයුතු කිරීමෙන් පසුව අළු ලේඛනයෙන් ඉවත්විමට හැකි විය.

මෙම සංචාරයේදී එම කණ්ඩායම ජනාධිපතිවරයා, අග්‍රවිනිශ්චයකාරවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ට විනිසුරුවරුන්, විදේශ අමාත්‍යවරයා, නීතිපතිතුමා සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති/මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල ජ්‍යෙෂ්ට නිලධාරීන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහ පුද්ගලික අංශය හා අනෙකුත් ප්‍රධාන පාර්ශ්වකරුවන් හමුවී තිබේ.

Views: 64