මිල සූත්‍රය යටතේ ඉන්ධන මිල යළිත් වරක් ඉහළට

අගෝස්තු 31 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඉන්ධන මිල සූත්‍රය යටතේ සෑම මසකම 01 වැනිදා සිට ක්‍රියාත්මක වන මිල සංශෝධනය යටතේ මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 348.00 සිට රුපියල් 361.00 ක් දක්වා රුපියල් 13කින්ද, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 375.00 සිට 417.00ක් දක්වා රුපියල් 42 කින්ද, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 306.00 සිට රුපියල් 341.00 දක්වා රුපියල් 35කින්ද, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 358.00 සිට රුපියල් 359.00 ක් දක්වා රුපියල් 1කින්ද ඉහළ නංවා තිබේ.

එසේම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 226.00 සිට රුපියල් 231.00 ක් දක්වා රුපියල් 5.00 කින්ද ඉහළ නංවා තිබේ.

මෙම මිල ගණන් දිවයිනටම බලපාන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නව ඉන්ධන සිල්ලර මිල ගණන් බව එම ආයතනය පවසයි.

එසේම ලංකා අයිඕසී සමාගමත් අද දිනයේ සිට මෙම නව සංශෝධිත ඉන්ධන මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් දැනටමත් සිය මෙහෙයුම් ආරම්භ කර ඇති සයිනොපෙක් සමාගමේ ඉන්ධන අලෙවිසැල් හරහා මෙම නව මිල සංශෝධනය යටතේ ඉන්ධන අලෙවි කරන මිල ගණන් පිළිබඳව මෙතෙක් අනාවරණය කෙරී නැත. මෙම ඉන්ධනහල් හරහා වෙළෙඳ පොළ මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් ඉන්ධන අලෙවි කරන බව සඳහන් වෙයි.

මේ අතර අද දිනය වන විට ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.86ක් දක්වා 1.16%කින් ඉහළ නැග තිබේ. එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.71%ක් දක්වා 0.10%කින් ඉහළ නැග ඇත.

Views: 41