ඉන්දියානු රුපියල දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා වලංගු නැත – ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඉන්දියානු රුපියල නම් කරන විදේශ ව්‍යවහාර මුදල් ලෙස අනුමත කරනු ලැබ ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳාමේ සිදුවන බැංකු ගණුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

ඒ අනුව ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම්/පියවීම් කිරීම සඳහා ඉන්දියානු රුපියල වලංගු මුදල් ඒකකයක් බවට පත් නොවන බව මහ බැංකුව අවධාරණය කර සිටියි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කළ හැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණක් බවද මහ බැංකුව පවසා සිටියි.

ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් මේ දිනවල පැතිරෙන වැරදි අර්ථකතනයන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ.

2022 අගෝස්තු මාසයේදී මහ බැංකුව විසින් මෙලෙස ඉන්දියානු රුපියල විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කර තිබේ. ඊට පෙර 1979 වසරේ සිටම වරින් වර මහ බැංකුව විදේශ ව්‍යවහාර මුදල් නම් කර තිබේ. ඒ අනුව මේ දක්වා එවැනි විදේශ ව්‍යවහාර මුදල් 16ක් පවතින බවත් මහ බැංකුව පවසයි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, චීන රෙන්මින්බි, ඩෙනිෂ් ක්‍රෝනර්, යූරෝ, හොංකොං ඩොලර්, ජපන් යෙන්, නවසීලන්ත ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, ස්ටර්ලිංපවුම්, සිංගප්පූරු ඩොලර්, ස්විඩිෂ් ක්‍රෝනර්, ස්විස් ෆ්‍රෑන්ක්, තායි බාත්, ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් සහ ඉන්දියානු රුපියල් එම මුදල් ඒකක වෙයි.

විශේෂයෙන්ම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස විදේශ ව්‍යවහාර මුදල් අනුමත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ රටවල් දෙකක් අතර පවත්නා වෙළෙඳ සහ ආයෝජන සබඳතා දිරි ගැන්වීම බව මහ බැංකුව පවසයි. එමගින් ද්විත්ව පරිවර්තනය නිසා සිදුවන අමතර ගනුදෙනු පිරිවැය අඩු කිරීමක් සිදුවනු ඇති බවත් එය බැංකු ඔස්සේ සිදුවන වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනයට සහාය වනු ඇති බවත් පවසයි.

Views: 67