Axiata සමූහය සිය ණය පියවීම සඳහා ව්‍යාපාර අලෙවි කිරීමේ සූදානමක?

මැලේසියාවේ පිහිටි ආදායම් අතින් විශාලතම රැහැන් රහිත සේවා ප්‍රවර්ධන සමාගම වන Axiata සමූහය (Axiata Group Bhd.) ඉදිරියේදී සිය ඇතැම් ව්‍යාපාර හිමිකම් අලෙවි කිරීමටත් සිය තාක්ෂණික සමාගම්හි කොටස් ලැයිස්තුගත කිරීමටත් සූදානමින් පසුවන බව වාර්තාවෙයි.

සමාගම සතුව දැනට ඇති ඩොලර් බිලියන 8කට ආසන්න ණය පියවීම සහ ජාත්‍යන්තර දුරකතන වත්කම් මිලදී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමේ අවස්ථාවක් ලෙස Axiata සමූහය මෙම අලෙවිය  සැලසුම් කර තිබෙන බව මේ පිළිබඳ අනාවරණය කරන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

පසුගියදා Axiata සමූහයේ ප්‍රධාන විධායක නිලදාරී විවේක් සූද් විසින් සිදුකළ අදහස් දැක්වීමක් උපුටා දක්වමින් එම වෙබ් අඩවිය මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව සිය සමාගම දැන් මුදල්ඉපැයීම ආරම්භ කරන බව පවසා තිබේ.

Axiata සමූහයේ ශේෂපත්‍රයට අනුව මේ වසරේ මාර්තු මාසය අවසන් වනවිට එම සමාගම සතු ණය ප්‍රමාණය මැලේසියානු රිගිට් බිලියන 36.7ක් එනම් ඩොලර් බිලියන 7.9ක් ලෙස සටහන්ව ඇත. එය 2019 අවසානයේදී පැවැති රිගිට් බිලියන 25.7 හා සැසඳීමේදීකැපීපෙනෙන ඉහළ යාමකි.

මෙහිදී කොටස් අලෙවිය සම්බන්ධයෙන් මූලිකම අවධානය යොමුව ඇත්තේ එම සමූහයට අයත් ජංගම දුරකතන කුලුණු සමාගම වන EDOTO සමූහයයි. සූද් සඳහන් කරන ආකාරයට එම සමාගම තුළ තවත් අලුතින් කොටස් නිකුතුවක් සිදු කර එක්සත් ජනපද ඩොලර් මිලියන 750කට ආසන්න මුදලක් රැස් කරගැනීම අරමුණ වී තිබේ. මිට පෙර මාර්තු මාසයේදීද මෙම සැලසුම් පිළිබඳව අනාවරණය කෙරිණි.

මේ අතර Axiata සමූහය සිය ඉන්දුනීසියානු ව්‍යාපාර නැවත ස්ථානගත කිරීමේ මෙහෙයුමක්ද ආරම්භ කර ඇතැයි වාර්තා පවසයි. එහිදී ජංගම දුරකතන මෙහෙයුම් සමාගමක් වන XL Axiata සහ ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සම්පාදකයෙකු වන Link Net (First Media) සමාගම ඒකාබද්ධ සේවා සමාගම් බවට පත් කිරීමටත් සැලසුම් කර ඇත.

මේ අතර Axiata සමාගම අග්නිදිග ආසියාව සහ පාකිස්තානය තුළ සිය ව්‍යාපාර පිළිබඳව උපායමාර්ගික විමර්ශනයක් සිදු කිරීමටත් සූදානමින් සිටින බවත්, එහිදීද එම ව්‍යාපාර කොටස් අලෙවි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් සඳහන් වෙයි.    

Views: 438